හෙලිකොප්ටර කසුකුසු අස්සේ රනිල් හෙලිකොප්ටරයෙන් ආයෙත් හක්මණ ගිය හේතුව

අගමැති රනිල් පසුගිය බ්‍රහස්පතින්දා හිමිදිරියේම හක්මණ බලා ගියේ ප්‍රබල එජාප හිතවතුන්වන වනිගසේකර පවුලේ අවමංගල්‍යකට එක් වීමටය.

“සාගල බුද්ධික දෙන්නම ලංකාවෙ නෑ. ඒ නිසා මේ මලගෙදර යා යුතුමයි. වනිගසේකරල එජාපයට විශාල සේවයක් කලා. ” අගමැතිවරයා කීවේ හෙලිකොප්ටරය හිමිදිරියේම ගුවන් ගත කිරීම පිළිබදව ප්‍රශ්න මතු වූ විටය.

හක්මණ ගොස් උදේ 9.00 වන විට යළි කොළඹ පැමිණි අගමැතිවරයා නිවසට ගොස් අනතුරුව අරලිය ගහ මැදුරට ගියේ ජාත්‍යන්තර හෙද දින සැමරුමට එක්වීමටය. එම උත්සවය ඇරඹීමට පෙර තමා හමුවීමට පැමිණ සිටි මැති ඇමතිවරු කිහිප දෙනෙක් සමග කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කළේ නැත.

“මම තව ටික වෙලාවකින් ඉන්දියාවෙ යනවා. ඉන්ධන වැඩි කිරීම රාජපක්ෂ මාධ්‍ය නඩය ඇවිස්සුවා. ” සභානායක ලක්ෂන් කිරිඇල්ල කීය.

“රාජපක්ෂගෙ කාලේ තෙල් බැරලයක් ඩොලර් 60 යි. එතකොට පෙට්රල් රුපියල් 157යි.අද බැරලයක් ඩොලර් 78යි. ඒත් අපි රු. 137 ට දෙනවා. තාමත් අපි ජනතාවට එදාට වඩා අඩුවට ඉන්ධන දෙනවා.සමහර ජනමාධ්‍ය මේක ඇවිස්සුවට ජනතාව සත්‍ය දන්නවා. ”අගමැති කීය.

“ධීවරයන්ට රු.දස ලක්ෂ 4000ක හා විදුලිය නැති 47,555 කට භූමිතෙල් රු.44 ගානේ තිබුණු මිලටම දෙනවා. අනික භූමිතෙල් මිල වැඩි කිරීමෙන් බස් ලොරි වලට ඒවා ගහන එක නැවතිලා භූමිතෙල් අලෙවිය 50%කින් බැහැලා. ” ගයන්ත කරුණාතිලක කීය.

“ මේ වසර අග වෙනතෙක් ඉන්ධන මිල ලෝකයේ අඩු වෙන්නෙත් නෑ. ඒ වගේම වැඩි වෙන්නෙත් නැති බවට තොරතුරු තියෙනවා. ” දයා ගමගේ කීය.

“බස් වලට 6.5% ක ගාස්තු වැඩිවීමක් මුලින් දීල ඒක 12.5% ට වැඩි කලේ ඇයි කියන එක මිනිස්සු අහනවා.බස් ස්ට්‍රයික් එක වළක්වා ගැනීම ලොකු දෙයක්.” විජේදාස රාජපක්ෂ කීය.

“ සයිටම් ප්‍රශ්නය ගොඩින් බේරාගන්න විජේදාස ඇමතිතුමා මැදිහත් වීම වටිනවා. ” දයා ගමගේ කීය.

“ සුදුසුකම් ඇති සියලු සයිටම් ලමයි කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට දානවා. ඊට කැබිනට් අනුමැතිය මම ගත්තා. ” විජේදාස රාජපක්ෂ කීය.

“ ඇමති සංශෝධනයේදී කිරිඇල්ල ඇමතිතුමාට අලුත් ආයතන 07 ක් හා විජේදාස ඇමතිතුමාට 12 ක් ලැබීම ගැන සුභ පතනවා. ” බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ ඔවුන්ට සුභ පතමිනි.

 

“ වියත් මග  ගෝඨාභයගෙ ජනාධිපති වීමේ සෙල්ලමේ අලුත්ම පිම්ම ආරක්ෂක අමාත්‍යංශ ඉඩම විකුණලා හදපු ෂැංග්‍රිලා හෝටලේ පැවැත්වීම සරදමක්. ඒ උත්සවයට කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරල. ඒ සල්ලි කොහෙන්ද කියල ඒ අය රටට කියන්න ඕනෑ. ” රන්ජන් රාමනායක සිය සුපුරුදු බෝම්බ ප්‍රහාරය දියත් කලේය.

“ මිග් චෝදනාව, අපි වෙනුවෙන් අපි අරමුදලට අදාල චෝදනාව, සුදු වෑන් , අතුරුදහන් කිරීම් ගැන චෝදනා ඇති අය රට හා රටේ සම්පත් බේරා ගැනීම ගැන කතා කිරීමයි දේශපාලකයන් හා නිලධාරීන් දූෂණයෙන් තොර වීම ගැනයි කතා කරපු එක තමන්ගේ කාලෙ කරපු වැරදි ගැන කරපු පාපොච්චාරණයක් බව ජනතාවගේ මතයයි. ” රන්ජන් වැඩි දුරටත් කීය.

“අර දිගන ගිනි තියපු මහසෝන් බලකායේ ප්‍රධානියාට මසකට රු.40,000ක් පඩි හා ඒ ගොඩනැගිල්ලට මාසික කුලී ගෙවලා තියෙන්නේ මහනුවර පොහොට්ටු මන්ත්‍රී කෙනෙක් බව ත්‍රස්ත විමර්ශන ඒකකය හදුනාගෙන තිබෙනවා. ” පී හැරිසන් කීය.

“ ගෝඨා, බැසිල් අභිබවලා ඉස්සරහට එන්න ජනපති කැම්පේන් පටන් ගත්තට ඡන්දය එන කාලෙ වෙනකොට කැම්පේන් එක පිලුණු වෙලා ඉවරයි.මහින්ද හා නාමලුත් ඒකට ඉඩදීල සද්ද නැතුව ඉන්නවා කියල ආරංචියි. ” චමින්ද විජේසිරි කීය.

“ ජනමාධ්‍ය ආයතන වල කරපු වෙනස්කම් හරහා ආණ්ඩුව රටට කරන දේවල් ගැන හරි ප්‍රචාරයක් මීට පස්සෙවත් කෙරෙන්න ඕනෑ. ” ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේද කීවේ එකම අදහසකි.

“ රාජ්‍ය මාධ්‍ය මරනින්දේ හිටියෙ. රූපවාහිනිය සුළුවෙන් හරි යමක් කලා. එත් අයි.ටී.එන්  හා ලේක් හවුස් සභාපතිලට තනතුරු දුසිම් භාගයක් විතර තියෙන නිසා එයාල ජනමාධ්‍ය බැලුවේ නෑ.පලාත් පාලන ඡන්දය ප්‍රකාශ කල දවසේ අයි.ටී.එන් එකේ පැය 03 ක රාත්‍රී සංවාදයක් ගියේ ඉතිහාසය විෂය දහරාවෙන් ඉවත් කරන බවට පළවූ කුඩා ප්‍රවෘත්තියක් ගැනයි.නාම යෝජනා ගත්ත දවසේ මලයාලම් සිනමාව ගැන පැය 03ක සංවාදයක් ගියා. පළාත් පාලන ඡන්දයේ අන්තිම සති 03 දී අයි.ටී.එන් සභාපති රටෙත් ඉදල නෑ. ලේක් හවුස් පත්තර එක තැන පල් වෙනවා. අලුත් පත්තරෙත් ලක්ෂ 40 ක් පාඩුයි කියල ආරංචියි. මුදල් ඇමතිට ජනමාධ්‍ය බලන්න වෙලාවක් නෑ.මේව පසුපෙලේ අපි කාගේත් පොදු ස්ථාවරයයි. ” චමින්ද විජේසිරි ප්‍රහාරාත්මකව කී විට සියලු දෙනාම එය අනුමත කලහ.

“ සිංගප්පූරුව එක්ක ගහපු ගිවිසුමෙන් ලංකාවට අවාසි බව කියල දොස්තරල කොහේ හරි යන ප්‍රශ්නයක් අල්ලං වර්ජන වලට යාම පුදුමයක්.ඒ ගිවිසුම හරහා විශේෂඥයන් හා කළමණාකරුවන් කීප දෙනෙකුට විතරක් ලංකාවට එන්න පුළුවන්. ඒත් වෘත්තිකයන්ට හා වෙනත් සේවකයන්ට එන්න බැහැ කියල කිව්වට මේ අය පිළි නොගැනීම තුල පටු දේශපාලනය තියෙන්නේ ”පී හැරිසන් කීය.

“ විපක්ෂයට බලය නැතිව අද පුදුම අමාරුවක් තියෙන්නේ. අද ඩොලර් බිලියන 11ක සංචිත රටට තියෙනවා. ආර්ථිකය හසුරුවා ගන්න බැරිව වසර 02 කට කලින් ජනාධිපතිවරණය තියලා පැරදුණු අය අද ආර්ථිකය හසුරුවන හැටි ගැන අපට බණ කීම විහිළුවක්. වැඩිම අපනයන ආදායම මේ රජය ලබා ගත්තා. ඩොලර් දසලක්ෂ 1900 ක වැඩිම ආයෝජනයත් අපි ගෙනාවා. රාජපක්ෂ යුගයේ බලෙන් රැකියාවලට පුරවල ආර්ථිකය අනාථ කලා. ඒත් අපි පුරප්පාඩු වලට හා අලුත් රැකියා ඇති කරලයි බදවා ගැනීම් කරන්නේ. ගංවතුර, නියගය හා කුණු කන්ද කඩා වැටීම ඇතුලු අභියෝග මැදයි අපි මේ ජයග්‍රහණ ගත්තේ. ණයත් ගෙවල රටේ සංවර්ධනයටත් මුදල් යොදවන රටක් අපි ඇති කලා. ජනතාවට ඉක්මනින් ඒ ප්‍රතිලාභ ලැබේවි. ” අගමැතිවරයා පැහැදිලි කලේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here