හූ අහගන්න අපට බෑ..අපි ආණ්ඩුවෙන් යන්නේ නෑ…අමරවීර සහ නිමල් සිරිපාල සන්ධානයේ විධායක සභාවේ අඩි පොලොවේ ගහයි….

0

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පස්වරු 5.00ට මහඟමසේකර මාවත පිහිටි ජනපති නිල නිවෙසේදී පැවැත්විණි. මේ සඳහා සන්ධාන පක්‍ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, අසංක නවරත්න, ඩී. කලන්සූරිය මෙන්ම විධායක කමිටු සාමාජිකයන් වන එස්.බී., සුසිල්, අනුර යාපා, ලක්‍ෂමන් යාපා, මහින්ද අමරවීර, නිමල් සිරිපාල, දුමින්ද, ෆයිසර්, ශාන්ත බණ්ඩාර, අතාවුල්ලා සහ ශ්‍රී ලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.

විධායක සභාවට ජනාධිපතිවරයා පැමිණියේ මඳක් ප්‍රමාද වීය.

ජනාධිපතිවරයා පැමිණීමට පෙර ෆයිසර් සහ එස්.බී. අතර උණුසුම් මත ගැටුමක් ඇති විය. දිගින් දිගටම පැවැති එම ගැටුම තවදුරටත් දුරදිග යෑමට ප්‍රථම සමථයකට පත් කිරීමට කිහිප දෙනෙක්ම උත්සාහ දැරූහ. ක්‍රීඩා ගැටලුවක් ගැටුමට මුල්විය.

ඔබතුමා ඉතා ඕනෑකමින් කරපු නොහොබිනා වැඩක් ඒක. එහෙම කියන්න කොච්චර වුණත් වැඩක් නෑනේ ෆයිසර් කීවේය.

මම කිව්වේ ඇත්තනේ. ඒක ඔයා හොයලා බලන්න. මෙතැන මට කියවන්න එන්න එපා එස්.බී.ත් දැඩිව කීවේය. අනතුරුව ජනාධිපතිවරයා පැමිණීම නිසා විධායක සභා රැස්වීම ආරම්භ විය.

‘සන්ධානේ පක්‍ෂ කිහිපයක් ඉල්ලීමක් කරලා තියෙනවා විධායක සභාව රැස් කරන්න කියලා. හරි ඔබතුමාලාට තියෙන ගැටලු ටික කියන්න එහෙනම්\’ ජනාධිපතිවරයා කීවේය. අනතුරුව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා අදහස් දැක්වීය.

පළාත් සභා මැතිවරණය එන්න එන්නම කල්දානවා. අගමැතිතුමා දැන් ඇති කමිටුවටත් මාස 2ක් කල් අරගෙන. මේ කරන්නේ කල්දාන වැඩේනේ. කාටවත් ඒක කරන්න වුවමනාවක් නෑ’ දිනේෂ් පැහැදිලි කළේය.

‘ඒක ෆයිසර්ගෙන් අහන්න ඕනේ’ ජනාධිපතිවරයා වටපිට බැලුවේය. ඒ මොහොතේ ෆයිසර් නැඟී සිටියේය.

දැන් අපට තියෙන්නේ කථානායකතුමා පත් කළ කමිටුවේ තීන්දුව ලබා ගන්න. ඊට පස්සේ ජනාධිපතිතුමාට පුළුවන් එය ගැසට් කරන්න. පනතට අනුවයි අපිට මේ වෙලාවේ වැඩ කරන්න වෙන්නේ\’ ෆයිසර් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

අනේ…. ඇමැතිතුමා ඔහොම කියලා හරියන්නේ නෑ. මමත් පළාත් පාලන විෂයභාර ඇමැති විදියට හිටියා. හැබැයි මම අවශ්‍ය වැඩේ අවශ්‍ය වෙලාවට කළා. කයිවාරු ගහ ගහ හිටියේ නෑ. අද මුළු රටම බලාගෙන ඉන්නේ ඡන්දය තියෙනකම්. එහෙන් ජනාධිපතිතුමා මරන්න යනවා. රටම කඩාගෙන වැටිලා. මේක ඇතුළේ අපට ඕවා කියලා වැඩක් නෑ. නිකන් බොරුවට ‍ෙදාඩවන්න එපා’ අතාවුල්ලා හිටපු ඇමැතිවරයා ඉතා දැඩිව කියාගෙන කියාගෙන ගියේය.

‘සේරටම කලින් අපි බලන්න ඕනේ තවදුරටත් ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද කියලා සුසිල් කීවේය.

ඔව් ඒක ඇත්ත. රනිල් ඉන්නකම් නම් කිසිම දෙයක් කරන්න බෑ. එහෙම තියාගෙන තවත් අපි මේක ආණ්ඩුවේ ඉන්න එකේ තේරුමක් නෑ එස්.බී.ත් තරමක් කේන්තියෙන් කීවේය.

‘ඒක හරි… අපි සන්ධානයෙන් ඉතා ඉක්මනින්ම ඉවත් වෙන්න ඕනේ. එය යෝජනාවක් විදියට දැන් මම ඉදිරිපත් කරනවා’ ලක්‍ෂ්මන් යාපා එසේ කියද්දී සැවොම මහ හ¾ඩින් සිනාසෙන්නට වූහ. ලක්‍ෂ්මන්ට වැඩේ පටලැවුණු බව තේරුම් ගියේ පසුවය.

‘සන්ධානයෙන් නෙවෙයි අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි ඕනේ’ මැති ඇමැතිවරුන් කිහිප දෙනකු කීවේ සිනාසෙමිනි.

‘ඔව්.. සමාවෙන්න. ආණ්ඩුවෙන් ඉවත් වෙන්නයි ඕනේ. මම ඒ යෝජනාව දැන් කරනවා.’ ලක්‍ෂ්මන් යාපා මන්ත්‍රිවරයා කීවේය. අනතුරුව සුසිල්, අනුර සහ එස්.බී. එම යෝජනාව ස්ථිර කළේය.

මෙම හමුවේදී 16 කණ්ඩායම නියෝජනය කළ මන්ත්‍රි පිරිසගේ දැඩි උනන්දුව වූයේ ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කරගැනීම සඳහාය. යෝජනාව සම්මත වූ පසු නිමල් සිරිපාල ඇමැතිවරයා නැඟී සිටියේය.

‘අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා ආවට ගියාට අයින් වෙන්න බෑ. ජනාධිපතිතුමා හුදෙකලා කරන්න අපට බෑ. නිවැරැදි වැඩපිළිවෙළක් එක්කයි අපි එළියට බහිනවා නම් බහින්න ඕන’ නිමල් සිරිපාල ඇමැතිවරයා කීවේය.

‘ඔව්.. ඒක ඇත්ත. අපිට ‘හූ’ අහන්න බෑ. පච වෙන්න බෑ. පස්සෙන් යන්නත් බෑ. අපි දැක්කනේ කලින් ගිය අයට වුණු වැඩේ. ආණ්ඩුවෙන් යනවා නම් අපට හෙට වුණත් යන්න පුළුවන්. හැබැයි ගිහින් මොනවද කරන්නේ කියලා අපට වැඩපිළිවෙළක් ඕනේ’ මහින්ද අමරවීර කීවේය.

‘අපි කියන්නේ නෑ හෙට උදේ එළියට බහින්න කියලා හැබැයි මේක වෙන්න ඕනේ.’ ඒකයි කියන්නේ සුසිල් කීවේය.

‘හරි, හරි ඒ ගැන කතාබහ කරලා සති දෙක තුනකින් මට බලලා කියන්න\’ ජනාධිපතිවරයා කීවේය.

‘සතියකින් දෙකකින් කියලා හරි යන්නේ නෑ. ඒකට නිශ්චිත දිනයක් ඕනේ\’ සුසිල් කීවේය.

කමිටුවක් පත් කරන්නත් ඕන’ එස්.බී ද කීවේය.

අනතුරුව මේ ගැන සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීම සඳහා කමිටුවක් පත්කළ අතර එය ඉදිරි සතියේදී රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.

 

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here