හදිසියේ පක්ෂ නායකයන් හමුවෙයි

0

පක්ෂ නායකයන් සහ කථානායක කරු ජයසූරිය අතර විශේෂ හමුවක් අද (07දා) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 3.00ට මෙම හමුව පැවැත්වෙන බව කථානායක කාර්යාලය විසින් සියලු පක්ෂ නායකයන්ට ඊයේ (06දා) පස්වරුව වනවිට දැනුම් දී තිබිණි.

එහිදී ලබන 14 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට අදාළ න්‍යාය පත්‍රය ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

මීට පෙර පසුගිය සිකුරාදා (02දා) දහවල් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවැනිම හමුවක් පැවැත්වූ අතර ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ මත ගැටුම් හමුවේ එම හමුව විසඳුමකින් තොරව අතරමඟ අවසන් කිරීමට කථානායකවරයාට සිදුවිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයකු වූ කැබිනට් අමාත්‍යවරයකු ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායක රැස්වීම නියෝජනය කරන සියලුම දෙනා මීට සහභාගි වන බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු බව එම පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කරන බව එම කැබිනට් අමාත්‍යවරයා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු පැවැසුවේ කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසට තම පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයකම නියෝජිතයන් එහිදී කථානායක කරු ජයසූරියගෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් එක්සත් ජාතික පක්ෂයේත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වනුයේ අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගැනීමට ඉඩ ඇති බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here