සමාජජාල වෙබ් අඩව් තහනම් කිරීම අතීසාරෙට අඹුඩ ගහනවා වගේ වැඩක්….

0

අගමැති මැති ඇමතිවරුන්ට කියයි..

ජනපති විදෙස් සංචාරයක නිරත හෙයින් රටේ සියලු වගකීම් ගැන අගමැතිවරයා සිටියේ දැඩි අවධානයෙනි. ඒ තුල වෙනදාටත් වඩා ඔහු කාර්යබහුල විය. එහෙත් කලින් යොදාගත් කිසිදු රාජකාරියක් හෝ උත්සවයක් අතපසු නොකිරීමටද අගමැතිවරයා වගබලා ගත්තේය. බ්‍රහස්පතින්දා වෙනදාටත් කලින් ඔහු අරලියගහ මැදුරට ආවේ පවතින කාර්යබහුලත්වය තුලය.

“මහනුවර ජාතිවාදී ගින්දර දැන් නිමිලා. මේක සංවිධානාත්මකව රට පුරා පතුරවන්නටයි කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වෙලා තියෙන්නේ. ආණ්ඩුව ගත් පියවර හා ආරක්ෂක අංශ වල කැපවීම කවුරුත් අගය කල යුතුයි.” අගමැතිවරයා කීවේ මැදුරට ඇතුලු වන ගමන් පැමිණ සිටි මැති ඇමතිවරුන්ටය.

“ ජනතාවට රැකවරණය දුන්නේ පොලීසිය හා හමුදාවයි. එත් පොලීසියේ ඉහල නිලධාරීන් අතර තිබූ මතභේද නිසා නුවර සිද්ධියට පොලීසියේ මැදිහත් වීම ටිකක් පරක්කු වුණා කියලත් පත්තරවල ගියා” සභානායක ලක්ෂමන් කිරිඇල්ල කීවේ එය ජනතාව ඔහුට කී පුවතක් බව අගවමිනි.

“පොලීසියේ එහෙම කඩ ඇදිල්ලක් තිබුණනම් මට ආරංචි වෙනවා. අන්තිමට කාගේත් විවේචනයට වගේම කාගේත් රැකවරණයට හිටියේ පොලීසියයි. ” අගමැතිවරයා කී විට සියලු දෙනා එය අනුමත කලහ.

“ අගමැතිතුමාගේ මහනුවර සංචාරය ගැන මිනිස්සු සතුටින් කතා කරනවා. ටිකක් පරක්කු වුනේ ඇයි කියලත් සමහරු මගෙන් ඇහුවා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ගිය සෙනසුරාදායි මම නුවර එන්න හිටියෙ අස්ගිරි නා හිමි එදා නැති බව දන්වපු නිසයි දින 2-3 ක් ගමන ප්‍රමාද කලේ. එත් සාමය රැකීමට අවශ්‍ය නියෝග දීම තත්පරයක්වත් පරක්කු කලේ නෑ. ” අගමැති කීවේය.

“ තෙල්දෙණිය දිගන මැණික්හින්න, කුන්ඩසාලේ, ආණමඩුව, බේරුවල වගේ හැම තැනම ගිනි තියන්න ඉදල කියලයි ආරංචි. කුන්ඩසාලෙදි පෙට්රල් බෝම්බ  වගේම අත් පත්‍රිකා දහස් ගණනකුත් අහුවුණා කියල පොලීසිය රටට එලි කලා. භයානක කුමන්ත්‍රණයකින් රටත් ජනතාවත් ගැලවුනේ. ” නවීන් දිසානායක කීදේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කලහ.

“ සිවුරුධාරීන් හා පොහොට්ටුකාරයො තමන්ට එරෙහිව තියෙන දූෂණ වංචා නඩු අහල හිරේ යන්න කලින් ආණ්ඩුවට ගේම් එක දෙන්නයි බැලුවේ.

අන්තිමට ඒ පහත්ම කුමන්ත්‍රණයත් හබක්” වජිර අබේවර්ධන කීවේ සිනාමැදය.

“ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඉමෝ වගේ දේවල් තහනම ගැන මිනිස්සු මුලින් හොඳ කිව්වා. ඒත් ඒක දිගටම ගෙනියන්න ගියොත් ලොකු ප්‍රශ්නයක්” දයා ගමගේ කී දේද සියලු දෙනා අනුමත කළහ.

“වයිබර්, වට්ස්ඇප්, තහනම ඉවත් කළා. ෆේස්බුක් තහනම සිකුරාදා ඉවත්කරන බව හරීන් කිව්වේ නියාමන කොමිසමේ මතයත් විමසලා නිසා ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේවා තහනමට මමත් කැමති නෑ. ඒත් ගිනි ඇවිලෙන එක මේ තාවකාලික තහනම නිසා වැළකුණා. දිගටම මේවා තහනම් කරන්න බෑ. ලෝකයම ගෝලීකරණය වෙලා නිසා අර මොකක්ද අතීසාරෙට අමුඩ ගහල හරියන්නෙ නෑ” අගමැතිවරයා කීය.

“ඒත් සමාජ ජාලා වලට නියාමනයක් අවශ්‍යයි. විදෙස් රටවල ඒකට ඕනතරම් නිදසුන් තියෙනවා. චීනයේ මේ ජාත්‍යන්තර සමාජජාලා කිසිදේකට ඉඩක් දීල නෑ. දැඩි පාලනයක් යටතේ චීන ආණ්ඩුවේ නියාමනය තුළයි එක් සමාජ ජාලයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ. අපි එතනට යන්න ඕනෙ නෑ. ඒත් පාලනයක් අවශ්‍යයි. නමුත් සමාජ ජාලා අවහිර කරනවාට මමත් විරුද්ධයි” නවීන් දිසානායකගේ පැහැදිලි කිරීම සියලුදෙනා අනුමත කළහ.

“චම්පික රණවක හරීන් ප්‍රනාන්දු ඇතුලු ආණ්ඩුවේ සියලු දෙනාත් මේ තහනමට විරුද්ධව මත පළ කළා. ජනාධිපතිතුමාට මේ ජාල හරහා එල්ලවෙන චෝදනා වලින් වැලකෙන්න මේ තහනමට සමහරු එතුමාව පෙ‍ළඹෙව්වා කියලත් කතා යනවා. එහෙනම් අගමැතිතුමාට ෆේස්බුක් වලින් කොච්චර ගහනවද? අගමැතිතුමානම් ඉතිං “මීඩියා ප්රූෆ් නේ” බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනාමැදය.

“හදිසි නීතිය දැමීමෙනුත් ජාතිවාදී කෝලාහල පාලනය වුණා ඒක ඉවත්කරන්නෙ කවදාද? සමාජ ජාල තහනම වගේම හදිසි නීතියත් ඉක්මනින් ඉවත් කළ යුතුයි” ගයන්ත කරුණාතිලක කීදේද සියලු දෙනා අනුමත කළහ.

“මේ සිද්දි වල පරීක්ෂණ දැන් යනවා. ඒවා ඉවර වෙනතුරු හදිසි නීතිය ඉවත් කරන්න එපා කියලා ආරක්ෂක අංශ කියන දේත් ආණ්ඩුවට අහන්න වෙනවා. හදිසි නීතියත් ඉක්මනින් ඉවත්කළ යුතුයි. ඒක ඇත්ත” අගමැතිවරයා කීය.

“නව එජාප ඇමතිවරු පත් කලාට ගැසට් එක තාම නෑ.ඒක පරක්කු වීම ලොකු අවුලක් බවයි නිලධාරීන් කියන්නේ. ” දයා ගමගේ කීය.

” ජනාධිපතිතුමා රට ඉදල ආව ගමන් නව විෂයන් ගැසට් කරාවි. ” අගමැති කීය.

” එතකොට ශ්‍රීලනිප ඇමති සංශෝධන කෝ. ආණ්ඩුව ඇතුලේ ඉදන් ආණ්ඩුවට ගහල ඡන්දත් පරාද කරවල ශ්‍රීලනිප අය ඒ ඇමතිකම් ම බදාගෙන ඉන්න හැඩයි. ශ්‍රීලනිප ඇමති සංශෝධන නොකලොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි. ” මන්ත්‍රී චමින්ද විජේසිරි කීය.

ජනාධිපතිවරයාගේ ඉන්දීය හා ජපන් සංචාර ගැනද එහිදී විදේශ අමාත්‍යංශ නිලධාරීන් කරුණු කීය.

” නව ව්‍යවස්ථාව ගැන ලංකාව මෙතෙක් දරපු මතය ඉන්දියාවේදී සුළු හැල හැප්පීමක් වෙලා කියල ආරංචියි. ඒත් ඒක ෂේප් කරගෙන තියෙනව. ශ්‍රීලනිප පාර්ශවය මෑතකදී නුවර අධිවේගයේ තුන්වෙනි අදියර ගැන ජපානයට පහර දුන්නත් අන්තිමේ ජපන් සංචාරයකට ලංකාවට ආරාධනා කලේත් මේ සුළු ගැටුම් නිරාකරණය කරගන්නයි.අධිවේගයේ තුන්වැනි අදියර ගැන ජපානයෙන් ලොකු පීඩනයක් ආවා කියලත් ආරංචියි.ඒ ප්‍රශ්නත් විසදිල තියෙනවා. ” විදේශ අමාත්‍යංශ නිලධාරීන් එලි කලේය.

“ පලාත් පාලන ආයතන ඉක්මනින් පිහිටවා ගන්න ඕනෑ. ඡන්දය ඉවර වෙලා මාසයකටත් වැඩියි. ” ලක්ෂමන් කිරිඇල්ල මෙන්ම දයා ගමගේ කීවේද එකම කතාවකි.

“ පලාත් පාලන හා පලාත් සභා අමාත්‍යංශය හා මැතිවරණ කොමිසම මේවාට වගකිව යුතුයි. නීතිය වෙනස් කරන්න වෙනවා. පවතින තත්වය අසාර්ථකයි කියලයි නීති අංශත් කියන්නේ. ” වජිර අබේවර්ධන කීවේ එවැන්නකි. අගමැතිවරයා එහිදී නළල රැළි ගන්වා ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here