වෛරී දේශපාලනය නිසා පුංචිකාලෙම මට තාත්තා අහිමි උනා.

0

රංජිත් මද්දුමබණ්ඩාර නව ඇමති ධුරයේ වැඩ භාර ගනිමින් කියූ දුක්බර කථාව

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීම පසුගිය බ්‍රහස්පතින්දා සිදුවීමත් සමගම වඩාත් කාර්යබහුල වූ මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා තම නව අමාත්‍යධුරයේ වැඩ භාර ගැනීම තවත් පසුනොකොට පසුදිනම සිදුකිරීමට තීරණය කලේ රටේ උද්ගතව ඇති තත්ත්වයද හේතුවෙනි.ඒ අනුව පසුගිය සිකුරාදා උදේ නව අමාත්‍යධුරයේ වැඩ භාරගත් අමාත්‍යවරයා පැමිනි සිටි පිරිස අමතමින් කීවේ “ මේ අමාත්‍යධුරය මට දුන්නේ රටේ අර්බුදකාරි තත්ත්වයක් මතුවෙල තියෙන වෙලාවක.කොහොම වුනත් මේ අමාත්‍යධූරයේ කටයුතු කරනකොට කිසි විටෙකවත් දේශපාලන වෛරයකින් කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ.මොකද මේ දේශපාලන වෛරයෙන් බැට කාපු කෙනෙක් මම.මගෙ තාත්තව මට අවුරුදු 10 දි අහිමි කලෙත් ඔය වෛරී දේශපාලනයේ ප්‍රතිඵලයක් විදියටයි.මේ නිසා මම මින් ඉදිරියට කටයුතු කරන්නෙ හැමදෙනාටම නීතිය සමානව ක්‍රියාත්මක කිරීමේ වගකීමත් එක්ක ”

පසුදින එනම් සෙනසුරාදා උදයේම අමාත්‍යවරයා හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් මහනුවර , රජවැල්ලේ ක්‍රිඩාංගනයට ගියේ එදින අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන හෙයිනි.අමාත්‍යවරයා පැමින විනාඩි පහලොවකට පමන පසු අග්‍රාමාත්‍යවරයා රැගත් හෙලිකොප්ටර් යානය ක්‍රීඩාංගනයට පැමිනි අතර මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා ලක්ෂ්මන් කිරිඇල්ල හා රුවන් විජයවර්ධන අමාත්‍යවරුන් සමග අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට යන ලදි.අග්‍රාමාත්‍යවරයා සමග රවුෆ් හකීම් අමාත්‍යවරයාද පැමින සිටියහ.මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා දුටු අග්‍රමාත්‍යවරයා සිනාසෙමින් “ ඔන්න රංජිත් නීතියේ වගකීම මම දැන් ඔයාට පවරල තියෙනවා.ගින්න නිවන එක ඔයාගේ වගකීම ” යැයි කීය.එතැන් සිට සියල්ලන් පයින්ම දිගන , තෙල්දෙණිය, අකුරණ, ආදී ප්‍රදේශවල සිදුව ඇති විනාශය දැකගන්නට ගමන් කලා.මේ අතර සිට සිංහළ , මුස්ලිම් ජනතාව ඉතා උනන්දුවෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස සිදුකරණ නිරීක්ෂණය දෙස බලා සිටිණු අයුරු දක්නට ලැබුනා.

මේ සියලු රාජකාරිමය කටයුතු නිමවීමෙන් අනතුරුව මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමට කටයුතු කලා.ඒ අනුව මුලින් මල්වතු මහා විහාරයට ගිය අමාත්‍යවරයා ඇතුළු පිරිස මල්වත් නාහිමියන් බැහැදුටුව.එහිදී දෙදෙනාට ආශිිර්වාද කල නාහිමියන් “භාරදූර වගකීමක් ඔබතුමාට ලැබිල තියෙන්නේ.පරිස්සමට මේ කටයුත්ත කරන්න ඕන.හරි දේ කරන්න, එතකොට කාටවත් ඔබතුමාට ඇඟිල්ල දික් කරන්න බැරිවෙයි”යැයි කීය.පසුව අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරයට අමාත්‍යවරයා ඇතුළු පිරිස ගියේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍යපාද වෙඬරුවේ උපාලි හිමියන් මුනගැසී ආශිර්වාද ලබා ගැනීමටයි.එහිදී තවත් නායක ස්වාමීන් වහන්සේ නමක් එතැනට වැඩමකොට තිබුණි.ඒ අස්ගිරි පාර්ශවයේ ලේකඛාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන්ය.මේ හමුවේ දී අනුනාහිමියන්ට ආදී කාලීන ඥාතී සබඳතාවයක සුලමුලද සොයාගත හැකිවුණි.එය නම් ලේකඛාධිකාරි හිමියන් හා මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා යන දෙදෙනාම මැදගම මහා විද්‍යාලයේ හෝඩියේ පංතියේ එකට ඉගෙන ගත් සිසුන් බවයි.“ ආ ඒ කියන්නේ දෙන්න පොඩි කාලේ එකට උන්න උදවිය එහෙනම්.බොහොම සතුටුයි දෙන්න ගැනම.මොකද අපේ ලේකඛාධිකාරි හාමුදුරුවො මේ වෙනකොට විශාල ජාතික ,ශාසනික මෙහෙවරක් කරනවා.අපේ ඇමතිතුමාටත් රටේ ආරක්ෂාවට විශාල සේවයක් කරන්න අවස්ථාව හම්බවෙලා තියෙනවා.මේ දේ හරියට කරන්න.පක්ෂ , පාට භේදයක් නැතිව නීතිය හරියට කරන්න ඔබතුමාට ශක්තිය තියෙනවා.කලින් දරපු හැම තනතුරේම වගකීම හරියට කරපු ඔබතුමා මේ කාර්යයත් හරියට කරල නමක් තියන්න”. යැයි අනුනාහිමියෝ පැවසීය.

මේ සියල්ල අතරතුර ප්‍රහාරයකට ලක්වූ අඹතැන්න විහාරයට දිනයේ කල සංචාරයේදී යාමට නොහැකි වූ බව මතක් වූ අමාත්‍යවරයා තම  නිලධාරීන්ට දැන්වූයේ මහා නාහිමිවරුන්ගේ මුනගැසීමෙන් අනතුරුව අනිවාර්යයෙන්ම යා යුතු බවයි.“ හාමුදුරුවන්ගේ දුරකතන අංකය හොයාගෙන කතා කරල කියන් මම පන්සලට එනවා කියල.එතනට යන්නම ඕන.එහෙම යන්න බැරි වුනොත් මම යුතුකම් නොකල වෙනවා” ය යැයි කීය.දුන් උපදෙසට අනුව ඇමති ආරක්ෂකයින් අදාල ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකයට කතා කරන විට අදාල හිමියන් සිටියේ වෙනත් විහාරස්ථානයකය.“හාමුදුරුවනේ අපි මද්දුමබණ්ඩාර ඇමතිතුමාගේ කාර්ය මණ්ඩලයෙන්.ඔබ වහන්සේව මුන ගැහෙන්න අපේ ඇමතිතුමාට උවමනා වෙලා තියනවා. ඔබ වහන්සේ මේ වෙලාවේ පන්සලේ ඉන්නවද”.

“ අනේ මහත්තයෝ මම මේ දවස්වල පන්සලේ නෑ.දැන් පන්සලේ ඉන්නෙ හමුදාවේ මහත්වරු විතරයි.මොකද කරන්නේ.” යැයි ඇසූ විට නිලධාරියා සඳහන් කලේ “ අපේ හාමුදුරුවනේ ඇමතිතුමා අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ මුනගැහෙන්න එනවා.කොහොම හරි පන්සලට එන්න” යැයි කීය.මේ වන විටත් මැදගම ධම්මානන්ද හිමියන් හා සාකච්ඡාවක නිරත වෙමින් උන් අමාත්‍යවරයා වහාම පූජාපිටිය ප්‍රියදර්ශනාරාමයට පිටත්ව ගියා.ඒ වනවිට විහාරාධිපති හිමියන් විහාරයට පැමින සිටි අතර ඉතා උනුසුම් ලෙස අමාත්‍යවරයා පිළිගනිමින් සඳහන් කලේ “ හරි සතුටුයි සර් අපිව බලන්න ආපු එක.කව්රුත් නොඑන වෙලාවක ඔබතුමා මාවත් ,පන්සලත් බලන්න ආපු එකට ස්තූතියි. මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්න.ඔබතුමාව අපිට විශ්වාසයි.ඒ විශ්වාසය රැකෙන විදියට වැඩ කරන්න.මේ මහ රෑ නීතිය සාමය රකින්න ඉන්න තමුන්නාන්සේ බෞද්ධයාට දක්වන මේ සැලකිල්ලට කවදාවත් ඔබ තුමාට වරදින්නේ නෑ” යැයි කීය.

පසුගිය දින කීපයේම මාධ්‍ය වල ප්‍රධාන මාතෘවක් බවට පත්වූ මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මාධ්‍ය ඇසට හොඳ ගොදුරක් මෙන් විය.සතිය පුරාම පාහේ විවිධ මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් අමාත්‍යවරයා සොයා අවේ පවතින තත්ත්වය සම්බන්ධ තොරතුරු ලබා ගැනීමටයි.කොහොම වුනත් මාධ්‍යට පෙනී සිටීම තුල විඩාවට පත්ව සිටි අමාත්‍යවරයා සඳහන් කලේ දැන් ඇති මාධ්‍ය සන්දර්ශනය ඇති.වැඩ කරන්න ඕන.ටික කාලයක් නිහඬව වැඩ කරමු.මම කැමතිනෑ වැඩ බැරි ඇමතිකෙනෙක් කියන ලේබලය ගහගන්න .ඉස්සෙල්ල වැඩ පෙන්නල පස්සේ සන්දර්ශන වලට යමු යැයි ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here