වෙසක් පෝය දෙකකින් රටට වෙන දෙයක් ගැන බන්දුලගෙන් හෙලිදරව්වක්

0

බොර තෙල් බැරලයක් ඩොලර් හතළිහකට තිබියදී මහින්ද රාජපක්ෂ යුගයේදී පෙට්රල් ලීටරයක් රුපියල් 122කට ලබා දුන් බවට මංගල සමරවීර ඇමැතිවරයා කළ ප්‍රකාශය මහ පොළොව නුහුලන පට්ටපල් බොරුවක් බවත් ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමාව ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසුවේය.

ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා යන නමින් ගම්වල ජනතාවගේ අතටම මුදල් ලබා දෙන බවට පුළුල් ප්‍රචාරණයක් ගෙන ගියද අගමැතිවරයා විසින් සම්පූර්ණයෙන්ම ගම් අගාධයට ඇදදමා තිබෙන බවද ඔහු සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (17දා) පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.
අද ආර්ථිකයේ විශාල අර්බුද ඇතිවෙලා තියෙනකොට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර තමන්ගේ සුපුරුදු මඩගැසීම පදනම් කරගෙන අසත්‍ය හා විකෘති ප්‍රකාශ සිදුකරමින් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට පහර දීමට කටයුතු කරනවා.

ඔහු නැවත මහා පරිමාණයේ බොරුවක් සමාජගත කරනවා. තෙල් බැරලය ඩොලර් 40ට තිබියදී මහින්ද රාජපක්ෂ පෙට්රල් දුන්නේ රුපියල් 122ට කියලා. එදා වාසිය ජනතාවට නොදී අද විකෘති කර කරුණු දැක්වීම හෙළා දකිනවා කියලා මංගල සමරවීර ප්‍රකාශ කළා. මේ ප්‍රකාශය ඉර හඳ උහුලන්නේ නැති මහ පොළොව නුහුලන පට්ටපල් අසත්‍යයක්. තවදුරටත් ඔහු කියනවා තෙල් මිල ගැන විවාදයකට මහින්ද රාජපක්ෂ මහතාට එන්න කියලා.

ඔහු මේ කියන ප්‍රකාශ දෙකේ පන්තියේ දරුවෙක්වත් විශ්වාස කරන කතාවක් නෙවෙයි. 2005 ඉඳලා 2014 වෙනකම් කිසිම දවසක ඩොලර් 40කට තෙල් බැරල් එකක මිල තිබුණේ නැහැ. ඔහු මේ කියන්නේ 2008 වර්ෂයේ තිබුණු මිලක් ගැන. 2008 තමයි ලෝක ඉතිහාසයේ වැඩිම තෙල් මිල වාර්තා කළේ. ඊට පස්සේ 2008 දෙසැම්බර්වල එක පාරටම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඩොලර් 34ට කඩාගෙන වැටුණා.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල 35%කින් වැඩිවීම නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ යුගයේ රුපියල් 120ට තෙල් විකුණුවේ.

මේ මට්ටමට දැන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිහින් නැහැ. නමුත් මේ ආණ්ඩුවේ දැන් පෙට්රල් ලීටරයක මිල රුපියල් 145යි. මේ ගැන මොනවද තවත් විවාද කරන්න තියෙන්නේ කියලා මම අහනවා. ලංකාවේ දෙකේ පන්තියේ දරුවකුට විවාද කරන්න එන්න කිව්වා නම් මීට වඩා ප්‍රායෝගිකයි.

මංගල සමරවීර තරම් බොරු සමාජගත කරන පුද්ගලයෙක් මේ ඉතිහාසයේ නැහැ. මේ වගේ ප්‍රකාශ රන්ජන් රාමනායක වගේ කෙනෙක් කිව්වටලොකු ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ.

මේ ආණ්ඩුවට තව පරමායුෂ තියෙන්නේ වෙසක් පෝය එකයි. ඊට වඩා ආණ්ඩුවට යන්න බැහැ. අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ඊළඟ ආණ්ඩුවේදී ප්‍රමුඛව කරනාදේ තමයි ණය වාරික ගෙවා ගත නොහැකි ලක්ෂ සංඛ්‍යාත ගමේ ජනතාවට ණය ප්‍රති සැකසුම්කරණය කරන්න අපි කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here