විශ්වාසභංගය පරද්දපු හැටි ප්‍රසන්න හෙලිකරයි

0

සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නොවන්නට අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමන නිසැකවම විශ්වාසභංග යෝජනාවෙන් නිමා වන්නට තිබුණු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රනිල් එලවීමේ සටන පාර්ලිමේන්තුවේ දී පරාජය වුවා කියා අධෛර්යමත් වන්නට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැති බව පැවසූ රණතුංග මහතා රනිල් මෙන්ම රනිල් ආරක්ෂා කරන බලවේගයන් ද අතුගා දමන සටන ජනතා සහභාගීත්වයෙන් යුක්තව පාරට ගෙන එන බවත් අවධාරණය කළේය.

‍මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කළේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී මාධ්‍යවේදීන් පිරිසක් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙනි. ඒ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අගමැතිවරයාට එරෙහව ඒකාබද්ධ විපක්ෂය විසින්ඉදිරිපත් කරපු විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළා කියලා එක්සත් ජාතික පක්ෂයට උඩ යන්න කිසිම හේතුවක් නැහැ. මොකට අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ තුනෙන් දෙකකටත් වැඩි බලයක් තිබුණු ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිවයි. අපි හැප්පුණේ අපිට වඩා තුන් ගුණයක් මන්ත්‍රීවරුන් සිටින ආණ්ඩු පක්ෂයක් එක්කයි.

හැබැයි අපේ මන්ත්‍රීවරුන් පනස් ගාණක් අත්සන් කරලා ඉදිරිපත් කරපු ඒ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව හොලවන්න අපිට පුළුවන් වුණා. පසුගිය සති දෙකක කාලය දිහාවට ආපහු හැරිලා බැලුවොත් පෙනෙයි ආණ්ඩුව වෙඩි කාපු ඌරෙක් වගේ විශ්වාසභංගයෙන් ජයගන්න දඟලපු ආකාරය. අන්තිම මොහොත වෙනකම් රනිල් උන්නැහෙවත් විශ්වාස කළේ නැහැ දිනන්න ලැබෙයි කියලා.

ආණ්ඩුව විතරක් නෙමෙයි අපි කරපු වැඩෙන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගේ සල්ලි ගසුත් හොලවන්න අපිට පුළුවන් වුණා. මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රතිඵලය මුදල් මත තීන්දු කෙරුණු එකක්. සමහර මන්ත්‍රිවරුන් කියනවා ඒකාබද්ධ විපක්ෂය පරාදයි කියලා. හැබැයි මහත්වරුනේ සල්ලිවලට හෘදය සාක්ෂිය පාවා දීපු තමුන්නාන්සේලා පැරැද්දුවේ ඒකාබද්ධ විපක්ෂය නෙමේ මේ රටම කියන එක මතක තියාගන්න.

අපි මේ අගමැතිවරයාට එරෙහි වුණේ ඔහු මහ බැංකු හොරකමේ ඉඳන් පහුගිය කාලය තුළ රටේ වෙච්ච විනාශයන්ට වගකිව යුතු හින්දයි. අගමැතිගේ දුර්දාන්ත පාලනයෙන් රට මුදාගන්නයි අපි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ. පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී ඔප්පු වුණා රනිල් වික්‍රමසිංහගේ පාලනය රටේ ජනතාව පිළිගන්නේ නැහැ කියලා. ඒ මැතිවරණයේ දී මිනිස්සු කිව්වේ රනිල් ගෙදර පලයන් කියලයි.

හැබැයි ඒ ජනමතය පාර්ලිමේන්තුවේ දී ක්‍රියාත්මක කරන්න යනකොට තමන්ගේ ගෞරවය මුදලට පාවා දීපු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරන්න කටයුතු කළා. මෙතැන දී පැහැදිලිවම බැඳම්කර මගඩියේ මුදල් විසිකරපු බව අපි දන්නවා. හොරකම් කරපු සල්ලි යොදාගෙන හොරා ආරක්ෂා කරපු එකට හොඳම නිදර්ශනයක් තමයි විශ්වාසභංග යෝජනාවෙදී වුණේ.

අපි එදා ඉඳන්ම කිව්වා සිරිසේන ජනාධිපතිවරයා ඉන්න තුරු රනිල් අගමැතිකමෙන් අයින් කරන්න බැහැ කියලා. පහුගිය මහ මැතිවරණයේ දී ඒක ඔප්පු වුණා. ඒ වගෙම පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී රටම රනිල් එපා කියද්දි සිරිසේන මහත්තයා රනිල් ආරක්ෂා කළා. දැන් මේ විශ්වාසභංග‍ යෝජනාවෙදිත් සිරිසේන මහත්තයා රනිල් උන්නැහෙව ඔඩොක්කුවට අරන් ආරක්ෂා කළා.

අපිට දැන් පැහැදිලි රනිල්- මෛත්‍රී ඩීල් එක ගැන. මේ රට වනසන ඩීල් එක පරද්දන එක පාර්ලිමේන්තුවෙදි පරාජය වුණා කියලා අපි ‍අධෛර්යමත් වෙන්නේ නැහැ. අපි මේ සටන මහපාරට ගෙනියනවා. දැන් අපේ සටන තියෙන්නේ අගමැතිට විතරක් නෙමෙයි. අගමැති ආරක්ෂා කරන බලවේගයනුත් ගෙදර යවලා තමයි අපි මෙදාපාර නවතින්නේ. ඒකට අපිට ජනතාවගේ හයිය තියෙනවා.

අපිත් එක්ක එකට එකතු වෙලා රනිල්ට විරුද්ධ වෙන්න කොන්ද හයිය තිබුණු නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට අපි හිස නමා ආචාර කරනවා. අන්තිම මොහොතෙදි හෝ නිවැරැදි පැත්තේ හිටගන්න ‍ගත්ත තීන්දුව ගැන අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. හැබැයි රනිල් බේරගන්න කියලා ඡන්දෙ නොදී ඇඳන් යට හැංගිලා හිටපු ඇමැතිවරුන් ගැන අපිටත් වඩා ඡන්දේ දීපු මිනිස්සු ලැජ්ජා වෙනවා ඇති.

තමන්ගේ මතය රට හමුවේ කෙලින් කියන්නවත් බැරි මේ වගේ පෙන්දෝ පාර්ලිමේන්තුවට එව්වේ මොකටද කියලා ජනතාව කල්පනා කරනවා ඇති. රනිල්ට පක්ෂව හෝ විපක්ෂ ව තමන්ගේ මතය කියාගන්න බැරි ‍අමරවීරලාගේ, දුමින්දලාගේ, සිරිපාලලාගේ දේශපාලන කතාව මෙයින් නිමි කියලා හොඳින් මතක තියාගන්න. ආයේ උන්නැහෙලට ප්‍රාදේශීය සභාවකටවත් තරග කරලා දිනන්න ජනතාව ඉඩ තියන්නේ නැහැ.

විශ්වාසභංගයෙන් ජයග්‍රහණය කරපු රනිල් හිටියටත් වඩා ඒකාධිපති ගමනක් ආරම්භ කරන්න යන බව ඊයේ රාත්‍රියේ සිරස රූපවාහිනියට කරපු පහරදීමෙන් පැහැදිලි වුණා. මාධ්‍ය නිදහස ගැන ලොකුවට කියපු අයම තමන්ගේ පළාත් පාලන ආයතන මැරයන් යොදවලා සිරසට ගහපු හැටි අපි දැක්කා. මේකද යහපාලනයෙන් දෙනවැයි කිව්ව මාධ්‍ය නිදහස? එදා මාධ්‍ය නිදහස ගැන ලොකුවට කයිවාරු ගහපු එන්. ජී. ඕ කුක්කෝ දැන් ‍ඇඳන් යට රිංගලා ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here