විජේවීර උලපනේ වත්ත මිලට ගත් රහසිගත කතාව මෙන්න

0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ උලපනේදී 1989 නොවැම්බර් 12 වැනිදා රෝහණ විජේවීර සහෝදරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමත් පසු දින අලුයම් යාමයේ බොරැල්ල කනත්තේදී ඔහු ඝාතනය කිරීමත් මෙරට දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක සංසිද්ධියක් ලෙස සටහන්ව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඝාතනය කිරීම හා සම්බන්ධ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් රජය හෝ ඊට සම්බන්ධ පිළිගත් ආයතන හෝ නිශ්චිත පිළිතුරක් මේ දක්වා ලබාදී නැත. එබැවින් විජේවීර සහෝදරයාගේ ජීවිතය පිළිබඳ සියලු කරුණු කාරණා අද දක්වාම ජනතා අවධානය දිනා ගන්නා උණුසුම් ප්‍රවෘත්තීන් වේ.

ජාත්‍යන්තර විප්ලවවාදීන් වූ හෝචි මිං, අන්වර් හෝජා, චේ කැමිලෝ ආදීන්ගේ දිවි සැරිය ගැන අක්මුල් සොයන්නට දක්වන උනන්දුවට නොදෙවැනි අවධානයක්, කුතුහලයක් රෝහණ විජේවීර සම්බන්ධයෙන්ද ඔවුහු යොදවති. විශේෂයෙන් 1983 සිට 1989 දක්වා ජනතා විමුක්ති පෙරමුණට එල්ල වූ ධවල භීෂණය හමුවේ ආරක්ෂක අංශ ඔහු ලුහුබඳිද්දී මාරයා තමන් සොයා පැමිණෙන අවසන් මොහොත දක්වා විජේවීර ජවිපෙට නායකත්වය දෙමින් ගත කළ රහසිගත ජීවිතය ගැන උණුසුම් තොරතුරුවලට පාඨකයන්ගේ දැඩි අවධානයක් හිමි වේ.

විජේවීර අත්අඩංගුවට ගත් උලපනේ වත්තට ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් පැමිණීම පිළිබඳ මෙතෙක් හෙළි නොවූ අභ්‍යන්තර රහසිගත තොරතුරු මෙවර ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

ජනතා විමුක්ති පෙරමුණ 1983 ජූලි මාසයේ රජය විසින් තහනම් කරන ලද අතර එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට නියම කළේය. එසේ කරන ලද්දේ 1983 ඇති වූ ජාතිවාදී කෝලාහලය දඩමීමා කරගනිමිනි. ඒ අවස්ථාවේ ජවිපෙ ඉදිරිපෙළ නායකයන්ගෙන් ලයනල් බෝපගේ ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ අතර වැඩි පිරිස යටි බිම්ගත දේශපාලනය සඳහා යොමු විය. විජේවීර අත්අඩංගුවට ගැනීම පිණිස ආරක්ෂක අංශ වැඩි බරක් යෙදවූ නමුත් එම වෑයම නිෂ්ඵල වූයේය.

අසීරු කාල පරිච්ඡේදයේ කතරගම වනාන්තරයට ඇතුළු වූ විජේවීර දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජවිපෙ දේශපාලන කටයුතු කරගෙන ගියේය. 1984 අප්‍රේල් මස 29 දින ඔහු හපුතලේ ආසනයේ හල්දුම්මුල්ල වල්හපුතැන්නේ නිවෙසක පදිංචියට ගිය අතර බිරිය හා දරුවන් සමඟ එහි සිටින අතරතුර දේශපාලන කටයුතු සඳහා අවශ්‍ය අවස්ථාවන්හි බැහැර ගියේය. ඒ වන විට විජේවීරගේ මෙන්ම පවුලේ සෙස්සන්ගේද රට හඳුනන බාහිර ස්වරූපය වෙනස් කර තිබිණි. විජේවීර, අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි අත්තනායක නමින් පෙනී සිටි අතර ඔහුගේ බිරිය සමරකෝන් ආරච්චිලාගේ ශ්‍රියානි චන්දිමා යන නම භාවිත කළාය. දියණියන් දෙදෙනා වල්හපුතැන්න ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරන ලදුව ඔවුන් නිවෙසේ සිට පාගමනින් එහි ගියේය.

වල්හපුතැන්නේ නිවෙසේ 1987 දක්වාම ඔවුහු ජීවත් වූහ. එහෙත් අනපේක්ෂිත ලෙස 1987 ජුනි මාසයේ හපුතලේ පොලිසිය එම නිවෙස සහ එහි පදිංචිව සිටින්නන් ගැන විපරම් කිරීම නිසා ඔවුහු එම නිවෙසින් ඉවත් වූහ. විජේවීර ඉන් අනතුරුව බණ්ඩාරවෙල ලෙව්වේගොඩ වත්තේ පදිංචියට ගියේය. මේ සෑම ස්ථානයකදීම විජේවීර සම්බන්ධකම් පැවැත්වූයේ උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ, පියදාස රණසිංහ, ඩී.එම්. ආනන්ද සහ එච්.බී. හේරත් වැනි ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයන් සමඟ පමණි. විජේවීර අවසන් වරට අත්අඩංගුවට ගන්නා ලද්දේ ගම්පොළ උලපනේ ශාන්ත මේරි වත්තේ නිවෙසේ සිටියදීය.

විජේවීර උලපනේ නිවෙසට පැමිණීම පිළිබඳව මෙතෙක් හෙළි නොවූ සිදුවීම් ගැන හොඳින් දන්නා තැනැත්තකු සිටී. අපි ඔහු නමින් පියල් යැයි හඳුනා ගනිමු. මේ අප පියල් සමඟ කරන ලද සංවාදයයි.

ඔබ බණ්ඩාරවෙල ලෙව්වේ ගොඩවත්තේ සිටියාද?

ඔව්, මම තමයි හුඟක් බාහිර කාරණා කටයුතු සම්බන්ධව වැඩ කළේ.

බාහිර කටයුතු කීවේ මොනවාද?

වත්තෙ වැඩට එන බැහැර අයගෙ සම්බන්ධතා, නගරයෙන් වත්තට අවශ්‍ය කරන භාණ්ඩ ගෙන ඒම, පැක්ටරියට දලු යැවීම, ඒවායේ ලේඛන පවත්වාගැනීම වගේ වැඩ තමයි.

විජේවීර සහෝදරයත් පවුලෙ අයත් ලෙව්වේගොඩ වත්තේ කොපමණ කල් සිටියාද?

මට හිතෙන හැටියට අවුරුද්දක් විතර ඉන්න ඇති.

ලෙව්වේගොඩ වත්තෙන් ඉවත් වෙන්න තීරණය කළේ ඇයි?

1988 ජූලි මාසයේ විතර සැක සහිත දෙදෙනෙක් වත්තට පැමිණ තිබුණා. මෝටර් රථයකින් පැමිණි ඔවුන් බලෙන් ගේට්ටුව අරින්න උත්සාහ කර පසුව වත්ත විකුණනවාද යන්න දැනගැනීමට පැමිණි බව කියා පිටව ගිහින් තිබෙනවා.

ඒක ඒතරම් බරපතළ විදියට ගන්න දෙයක්ද?

ඔව්, බරපතළ කාරණයක් තමයි. එහෙම සැලකිලිමත් නොවුණා නම් පවතින්න බැරි වෙනවා. දිනක් රෝස මල් සොයාගෙන බණ්ඩාරවෙල පොලිසියෙනුත් වත්තට ආවා.

මේ සිදුවීම්වලින් පසුව මොකද වුණේ?

රෝහණ සහෝදරයත් පවුලේ උදවියත් වත්තෙන් පිට වී ගියා. අපි අනෙක් අය වත්තේම සිටියා. ඒ කෙටි කාලය විශ්වාසවත්ත ස්ථාන කීපයක ඔවුන් නතර වී සිටියා.

එතකොට ජවිපෙට උලපනේ සෙන්ට් මේරිස් වත්ත ගැන දැන ගන්න ලැබුණේ කොහොමද?

දිනක් විජේවීර සහෝදරයා මට එන්න කියලා පණිවුඩයක් එවලා මම ගියාම මට මේ ඉඩම ගැන විස්තර දුන්නා. ඔබ්සවර් පත්තරේ දැන්වීමක තිබිලා ඔහුමයි සොයා ගෙන තිබුණේ. මට කීවා ඉක්මනට ගිහින් මේ ගේ සහ ඉඩම ගැන බලන්න කියා. ඉඩම අයිති අයගෙ ලිපිනයන් දුරකථන අංක පුවත්පත් දැන්වීමෙ තිබුණා.

අයිති කට්ටිය ඩුබායිවල රැකියාව කරන තරුණ කපල් එකක්. ජයසුන්දර වාගෙ නමක් තිබුණෙ. ඔවුන් පදිංචිව සිටියේ මහනුවර අනිවත්තේ, එහෙ හිටියේ කොළඹ 07 වාගෙ ගොඩක් පොහොසත් අය.

පියල්ද පළමුවෙන් උලපනේට ගියේ?

ඔව්, මම පාරෙ බස් එකේ ගියේ. මොකද හැම තැනම ඇවිදලා අවට මිනිස්සු එක්ක කතාබහ කරලා හරියටම වට පිටාව තේරුම් ගන්න අවශ්‍ය නිසා. මටත් ස්ථානය දැක්ක ගමන් වැදුණා. අපට අවශ්‍ය විදියට ආරක්ෂාව තිබුණා. වත්තට පාර තිබුණට කෙනකුට ලෙහෙසියෙන් සොයාගෙන එන්න බැහැ. ගේ පාරට පේන්නෙත් නැහැ. නමුත් ගෙදරට වාහනයක් එනව නම් වටේ කැරකිලා කන්ද නඟින්න ඕන. ඒ වෙද්දි ගෙදර කොතැන හිටියත් ඉන්න අයට වාහනය පේනවා. හඳුනාගන්නත් පුළුවන්. එහා වත්තෙ සුදු මහත්තයකුගේ බංගලාවක් තිබුණා. සමහර විට වැරැදීමෙන් එහාටත් ගිහින් තමා මෙහාට එන්න වෙන්නෙ. අනෙක ඒ අය මේ ගෙදර ඉන්න අය ගැන හොයන උදවියත් නෙවෙයි. නිදහස් තැන. පරිසරයත් ලස්සනයි. ගෙට උඩින් කැලෑවක් තිබුණා. ඉංග්‍රීසි ආණ්ඩුව කඳු මුදුන්වල වගා නොකර ඉතිරි කරපු කැලෑව. මෙතැන ඉන්නවා නම් කාටවත් කීයටවත් හොයාගන්න බෑ. කවුරුහරි පාර පෙන්නුවොත් මිසක.

ඉතින් රෝහණ සහෝදරයා විස්තර ඇහුවම මොකද කීවෙ?

එයා අහන් ඉඳල දාපු සමහර ප්‍රශ්නවලට මට උත්තර දීගන්න බැරි වුණා. ඒ නිසා මට කිව්වා ආයෙත් ගිහින් ඒ විස්තරත් බලාන එන්න කියා. ඔය විදියට ශාන්ත මරියා වත්තෙ ගේ ගන්න ඉස්සර වෙලා මට තුන් හතර වතාවක් එහි යන්න සිදුවුණා. ගෙයි නිදන කාමර තුනක්, සාලය, පැන්ටි්‍රය, ආලින්දය තිබුණා. ඉඩම අක්කර 5ක් විතර. තේ පොල් නිසරු වගාවක් තිබුණෙ. හරි. නඩත්තුවක් තිබී නැහැ. මම කියාපු විස්තර ගැන සෑහීමකට පත් වුණාට පස්සෙ තමයි විජේවීර සහෝදරයා අනුමැතිය දුන්නෙ.

ඊට පස්සෙද අයිතිකාරයො හමු වන්න ගියේ?

නැහැ. කීප වාරයක් ඒ අය හමුවන්නත් ගියා.

ඉඩමෙ වටිනාකම කීයද?

පත්තර දැන්වීමෙ තිබුණෙ ලක්ෂ 7ක් කියල. නමුත් අපි මේක ගන්න උනන්දුයි කියලා තේරුණාට පස්සෙ ගාණ ඉස්සුවා. මට මතක ලක්ෂ 7 1/2ක් විතර වුණා.

ඔප්පු ලියන්න කලින් විජේවීර සහෝදරයා ඉඩමට ගියාද?

නැහැ. කොහොම වුණත් ඒ අය දැන්වීම දාලා සති දෙකකින් විතර අපි ඉඩම ගත්තා.

කොහෙදිද ඔප්පු ලිව්වෙ. කවුද ඒවට ආවෙ. කාගෙ නමටද ඉඩම ගත්තෙ?

ශාන්ත නිමලසිරි අත්තනායක සහ ශ්‍රියානි චන්දිමා සමරකෝන් යන නම්වලට තමයි ඔප්පු ලිව්වේ. ඒ කටයුතුවලට සෝමවංශ අමරසිංහ ආවා. ඔප්පු ලිව්වෙ ඉඩම අයිතිකාරයගෙ මල්ලිගෙ නීතිඥ කන්තෝරුවක. ඒක තිබුණෙ නුවර උසාවිය ළඟ. 1988 අගෝස්තු මාසෙ, තමා මට මතක හැටියට ඔප්පු ලීවෙ.

පසුව දාම ගෙදර පදිංචියට කට්ටිය ආවද?

නැහැ. මම දින කීපයක් නැවතිලා ගේ සෝදලා වතුර ටැප් එහෙම හදවලා වත්ත පිටිය උදලු ගාලා එළි කළා. ලෙව්වේගොඩ වත්තේ තිබූ ගේ ‍ෙදාර බඩු එහාට ගෙනාවා.

විජේවීර සහෝදරයත් ගෙදර අය පදිංචියට ආවෙ කවද්ද?

1988 සැප්තැම්බර් 1 වැනිදා ගමනායක සහෝදරයගෙ කාර් එකේ රෝහණ සහෝදරයත් එයාගෙ අම්මත් බිරියත් දරුවනුත් ආවා.

ස්ථානය ඉස්සරෝම දැක්කම විජේවීර සහෝදරයා මොකද කීවෙ?

වාහනෙන් බැහැපු ගමන් අනෙක් අය ගෙට ගියා. එයා ගෙට ගියේ නැහැ. වටේම ඇවිද්දා. හැම තැනම පරීක්ෂා කළා. අන්තිමට හොඳයි කීවා.

දියණියන් පාසල් ගියේ කොහොමද?

වල්හපුතැන්නෙන් අස්වීමේ සහතික ගෙනැත් තිබුණා. මම ගිහින් උලපනේ මහා විද්‍යාලයේ විදුහල්පති හමුවෙලා තුන්වන වසරටත් දෙවැනි වසරටත් බබාලා ඇතුළත් කිරීම ගැන කතා කළා. ඔහු කැමැති වුණා. ඊට පසුව රෝහණ සහෝදරයාගේ බිරිය ගිහින් ළමයි පාසලට භාරදී තිබුණා.

පියල් ගොඩක් කල් ඔවුන් සමඟ සිටියාද?

නැහැ. මම සතියයි හිටියේ. ඊට පසු අවශ්‍ය හැම දේම ඔවුන් ගමේ අය සම්බන්ධ කරගෙන සිදු කරගෙන තිබුණා.

දේශපාලන සම්බන්ධකම් ඔවුන් දැන සිටියාද?

නැහැ. උලපනේ රෝහණ සහෝදරයා සිටින බව දන්නේ අප කීප දෙනා පමණයි. පක්ෂයේ වෙනත් කිසිවකු දන්නෙත් නැහැ.

ඒත් ඉතින් අන්තිමට ආරක්ෂාව නැතිව ගියානෙ?

දන්න ඉතාමත් සමීප කීප දෙනාගෙන් කෙනෙක් පෙන්නුවේ නැත්නම් විජේවීර සහෝදරයා කවදාවත් අහුවෙන්නේ නැහැ. මගේ විශ්වාසය අදටත් උලපනේ ඉන්න තිබුණා.

රාජ්‍ය මර්දනය දියත් වී රට පුරා බිහිසුණු ඝාතන සිදුවන වට පිටාවක එතැන ආරක්ෂාව පිළිබඳ සැකයක් ඇති වුණේම නැද්ද?

නැහැ. අපි ලෙව්වේගොඩ සිටියදී ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ත්‍රිකුණාමලේ විමල් සහ නන්දතිලක කියන සහෝදරවරු දෙදෙනාත්, කුරුණෑගල පාල සහෝදරයාත් අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් මරා දමන තුරුත් කිසිවක් හෙළි කර තිබුණේ නැහැ. ඒ විශ්වාසය මතයි රෝහණ සහෝදරයා ඉන්න ඇත්තේ.

1989 නොවැම්බර් 11 වන විට එච්.බී. හේරත්, ඩී.එම්.ආනන්ද යන දේශපාලන මණ්ඩල සභිකයන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව විජේවීර සහෝදරයා දැනුවත්ව ඉන්න ඇති නේද?

ඔව්. මේ දින කීපය තුළ සියල්ල බිඳ වැටුණා. ලෙව්වේගොඩ වත්තේ අපේ අය දිගටම සිටියා. අමරසිංහ නෙළුව වත්තේ වතු අධිකාරි සමඟ හිතවත්කමක් හදා ගෙන තිබුණා. අපේ කට්ටිය කරදරයක් නැතිව ඉන්නවාද දැන ගන්නත් එක්ක අමරසිංහ නෙළුව වත්තට කතා කර විස්තර අසා තිබුණා. එවිට වතු අධිකාරි කියා තිබුණා

‘ඒ පැත්තට එන්න එපා. වත්තට හමුදාව ඇවිත් සමහරු මරා දමා ඇති බව. භයානක තත්ත්වයක් තියෙන්නේ කියා’. ඒ තත්ත්වය මත හදිසියේ එහි යන අදහස වෙනස් කරන්න සිදුවෙන්න ඇති. පළමුවෙන් ඇහැලියගොඩදී ඩී.එම්. ආනන්ද අරගත්තා. පසුව පේරාදෙණිය ගලහදී එච්.බී. හේරත්, වයි. පියදාස රණසිංහවයි අරන් තිබුණා. රෝහණ සහෝදරයාගේ පොඩි අය ඒ දෙන්නා හඳුන්වන්නේ නියං මාමා සහ සුදු මාමා කියලයි. නොවැම්බර් 12දා උලපනේ ගෙදරට හමුදා නිලධාරීන් පැමිණ තිබෙන්නේ නියං මාමාගේ කාර් එකෙන්. සිදු වූයේ කුමක්ද යන්න ගැන අප වුණත් දන්නේ සීමිත කරුණු ටිකක්. අවසන් මොහොතේ සිදු වූ අවාසනාවන්ත පෙළගැසීම වළක්වන්න පුළුවන් තත්ත්වයක් තිබී නැහැ. සත්‍ය ලෙසම සිදු වූයේ කුමක්ද? යන්න අනාගතයේ යම් දිනක හෙළිවේවි.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here