වැඩිපුරම හෙණ වදින ආසනය ගැන මෛත්‍රී මහින්දට කිව්ව කතාව

0

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රිනි සන්ධ්‍යා සිරිවර්ධනගේ සහ මීරිගම ශ්‍රී ලනිප සංවිධායක සංජය සිරිවර්ධනගේ දියණිය වන නිලුෂා සිරිවර්ධනගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේ කුරන මීගමුව ග්‍රෑන්ඩිසා හෝටලයේදී පැවැත්විණි. ඇයගේ අත ගත්තේ මනෝජ් ප්‍රියංකරයි. විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අස්සන් කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.

පාර්ලිමේන්තු මන්ත්‍රි වන නිමල් ලන්සා, බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය, හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක්ද වැදිනායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝද මේ අවස්ථාවට එක්ව සිටියහ. වන්නිල ඇත්තන්, මෛත්‍රි සහ මහින්ද අසුන් ගෙන සිටියේ එකම මේසයකය.

‘දැන් හොඳයි ඔබතුමාලා දෙන්නට එක්කාසු වෙන්න’ වන්නිල ඇත්තන් මහින්ද සහ මෛත්‍රි දෙස බලමින් කීවේය. ඔවුන් දෙදෙනාද සිනාසුණා මිස ඊට කිසිවක් නොකීමද විශේෂත්වයකි.

‘සරණත් ඇවිල්ලා’ මහින්ද මෛත්‍රිට සරණ පෙන්වමින් කීවේය.

‘ආ… කොහොමද සරණ. හුඟ කාලෙකින් දැක්කෙ?’ මෛත්‍රි කීවේය.

‘වැඩිපුර ඉන්නෙ හිරේනෙ සර්.. ඒකයි පේන්න නැත්තේ.’ සරණද ඇඟටපතට නොදැනී කීවේය.

‘ඕව… ඔහොම තමයි ගනන් ගන්න එපා’ මෛත්‍රි කීවේය.

‘සර්.. දන්නවද සරණ ඒ කාලේ කිව්ව කතාවක්. ඒ දවස්වල සරණ අපේ ගම්පහ ගෙදර එනව යනවා. 2001දී චන්ද්‍රිකා මැතිනිය සරණව මීරිගම සංවිධායක කළා. සරණ දවසක් අපේ ගෙදර ඇවිල්ලා මට කිව්වා.

මහලේකම්තුමා, බලන්නකෝ මැඩම් මට මීරිගම දුන්නනෙ කියලා. මම කිව්වා ඉතින් හොඳයිනෙ ඔයාට පාර්ලිමේන්තු එන්න පුළුවන් අල්ලපු ආසනවලත් ඡන්ද ටික එකතුකරගෙන කියලා. එතකොට සරණ මට කියනවා. නෑ සර්.. මේ ආසනයට වැඩිපුර හෙණ ගහනවා. කෙළවෙලා යන්න තමයි මට මේක දුන්නෙ කියලා.’ මෛත්‍රි මහ හයියෙන් සිනාසෙමින් අතීත ආවර්ජනයක නිරත විය. මෛත්‍රි කිව්ව කතාවට මහින්දටත් හිනා ගියේය.

‘සර්… දන්නවද පස්සෙ මමත් ඒක හොයල බැලුවා. බලපුවාම වැඩේ ඇත්ත. මීරිගම ප්‍රදේශයට වැඩිපුර අකුණු ගහනවා.’ මෛත්‍රි කීවේය.

‘දැන් ඉතින් මම නම් බේරුණා. සංජය ඔයා පරිස්සමින් ඉන්න’ සරණ මීරිගම නව සංවිධායක සංජය සිරිවර්ධන දෙස බලමින් කීවේය.

මඳ වේලාවක් ආගිය තොරතුරු කතා බහ කරමින් සිටි මහින්ද ඉන් පිටව ගියේ කෑගල්ල බන්ධනාගාරයේ සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ සුවදුක් විමසීමටය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here