වාද්දූව පිල් පාටිය ලෑස්තිකල ඇමති කවුද?

0

යහපාලනය ගැන කතා කරමින් මේ රටේ තරුණ පරපුර තුප්පහි සංස්කෘතියේ ගොදුරු බවට පත් කරමින් සිටින ආණ්ඩුව ගැන ජනතාව අවදියෙන් සිටිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර ප්‍රකාශ කළේය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (07දා) පිටකෝට්ටේදී ජාතික නිදහස් පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින්ය.

එහිදී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

පසුගිය අගෝස්තු 4 වැනිදා වාද්දුවේ සංචාරක හෝටලයකදී පැවැති සාදයකදී විස මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා මේ වනවිට තරුණයන් 4 දෙනකු මියගොස් තිබෙනවා. මාලඹේ පදිංචි අමිල පුෂ්පකුමාර සහ ගොතටුව පදිංචි හර්ෂණ එරන්ද කියන දෙදෙනකු විසින් තමයි මේ සාදය සංවිධානය කොට තිබෙන්නේ. “ස්කයි ඇඩ්වර් ටයිසින්” කියන ආයතනය සංවිධානය කරන එම උත්සවය “සෙවන් ගේට්” ආයතනය විසින් මෙහෙයවා තිබෙනවා.

එම සාදයට තරුණ තරුණියන් 1800-2000 අතර පිරිසක් සහභාගි වූ බව වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් 4 දෙනකු මියගියේ ශරීරයේ සියලු පද්ධතිවලට විස ශරීර ගත වී අක්‍රිය වීමෙන් බව පානදුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තහවුරු කර තිබෙනවා.

මේ ලෙස සිදුවී තිබෙන්නේ මිනීමැරුමක්. එහි මූලික වගඋත්තරකරුවො දෙන්නා තමයි අමිල පුෂ්පකුමාර සහ හර්ෂණ එරන්ද කියන්නෙ. නමුත් එම මිනීමැරුමට වගකිව යුතු කිසි කෙනෙක් අත්අඩංගුවට ගෙන නැහැ. අත්අඩංගුවට නොගැනීමේ රහස තමයි ඒ පිටුපස බලවත් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වීම. මේ සාදය සංවිධාන කිරීම පිටුපස බලවත් අමාත්‍යවරයෙක් ක්‍රියාත්මක වෙනවා.

වාද්දුවේ පොලිසියේ ස්ථානාධිපති ලලිත් වීරසිංහ මීට පෙර කළුතර උතුරු පොලිසියේ සේවය කළා. දූෂණ චෝදනා මත පොලිස් කොමිසම විසින් ගල්කිස්ස පොලිසියට මාරු කළා. ඒ කාර්යභාරයක් නැතුවයි. වාද්දුව පොලිසිය “ඒ” ශේ්‍රණියේ පොලිස් ස්ථානයක්. එහි සිටිය යුත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. එහි සිටි සම්පත් බණ්ඩාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ‍ෙදාඩන්ගොඩ පොලිසියට මාරු කොට පොලිස් පරීක්ෂකවරයකු වූ ලලිත් වීරසිංහ පත් කළා. කළුතර දිස්ත්‍රික්කයේ බලවත් අමාත්‍යවරයෙක් තමයි ඔහු ගෙනාවේ. එම පොලිස් පරීක්ෂකවරයා යටතේ තමයි අදාළ සාදය පැවැත්වුණේ. ඔහුටත් ආරාධනා පත්‍රයක් ලැබී තිබෙන බව ආරංචියි.

මේ හෝටල් භූමියේ ගිලන් රථ පවා රඳවා තිබෙනවා. ඒ වගේම ඇවන්ගාඩ් ආරක්ෂක ආයතනයෙන් ආරක්ෂාව ලබා තිබෙනවා. වර්ග අඩි 6000 ශාලාවක දෙදහසකට ආසන්න පිරිසක් කැඳවලා. බේ‍රායිලර් කුකුල්ලු 100ක් හදන්නත් වර්ග අඩි 200ක් අවශ්‍යයි. මත්පැන් බලපත්‍රත් අරගෙන තිබෙනවා.

ශබ්ද විකාශන යන්ත්‍රත් ගෙනත් නටන්නේ කුමන නෙයියාඩගමක්ද කියලා පොලිසිය බලන්න ඕන. එහෙම බලා මේක වැළැක්විය යුතුව තිබුණා.

ඒත් වැළැක්වූණේ නැතුවා සේම මේකට අනුමැතිය ගන්නත් ඇවිත් තිබුණෙ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. දේශපාලනඥයන්ටත්, පොලිසියටත් ලැබෙන මුදල නිසා මිනීමරුවන් අත්අඩංගුවට ගන්නේ නැහැ.

මේ සාදයේ ප්‍රභූ ටිකට් එකක් රුපියල් 5000යි. තවත් 3000 ටිකට් විකුණා තිබෙනවා. වතුර බෝතලයක් රුපියල් 300ක් මිලයි. එතැන ගංජා, කේරළ ගංජා වගේම කුඩුත් තිබුණා. ඩාන්සින් පෙතිත් තිබුණා.

මේ නැටුම් පෙති පසුගිය 2017 අගෝස්තු 5 වැනිදා ගල්කිස්සේ දී පැවැති සාදයකදීත් අලෙවි කර තිබුණා. ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් කියලා පාරම්බානවා. ඒ අතර මුළු රටම මත්ද්‍රව්‍ය තිප්පොළක් බවට පත්වෙනවා. තලතා අතුකෝරල අධිකරණ අමාත්‍යවරිය කියනවා දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය තිප්පොළ බවට මේ රට පත්වෙලා කියලා. ලංකාවෙ පවුල් ලක්ෂ 50ක් ඉන්නවා. පවුල් 50කට එක කුඩුකාරයෙක් හදලා ඉවරයි. පවුල් 75කට ගණිකාවක් හදලා ඉවරයි. ගණිකාවො 73,000ක් සිටිනවා. යහපාලන ආණ්ඩුව රටට කළේ එවැනි සේවයක්.

ඒ නිසා මේ මිනීමැරුමට ගෑවුණු අය පවා සෙවිය යුතුයි. පගා කාපු අය අනාවරණය කළ යුතුයි. ඒත් පොලිස් නිලධාරීන් අද අසරණ වෙලා සිටිනවා මේ අය අත්අඩංගුවට ගන්න දෙන්නෙ නැති නිසා. බලවත් අමාත්‍යවරුන්ගේ මැදිහත් වීම නිසා තමයි එම අත්අඩංගුවට නොගෙන සිටින්නෙ. පොඩි දේටත් අසරණයො ගෙනිහිල්ලා චප්ප කරන පූජිත් ජයසුන්දරගෙ පොලිසිය මරණ 4ක් සිදුකොට තිබියදීත් එම මිනීමරුවන් අත්අඩංගුවට ගන්නේ නැහැ.

මේ මිනීමැරුවො වගේම ඔවුන් පිටුපස සිටින දේශපාලකයොත් අත්අඩංගුවට ගන්න කියලා අපි පූජිත් ජයසුන්දරට කියනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here