රෙජීගේ ගුණ සැමරුමට පැමිණි අයියා මලෝ දෙන්නා මහින්දට කිව්ව කතාව!

0

දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ඡන්ම දින සමරුව පසුගිය සෙනසුරාදා ට යෙදී තිබුණි. රෙජී රණතුංග මහතාගේ ඡන්ම සමරුව මෙන්ම ගුණ සමරුව ද සිරිතක් වශයෙන් සංවිධාන කෙරෙන්නේ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ මෙහෙයවීම මතය. 2015 වර්ෂය වනතුරුම එම ගුණසමරුවට රණතුංග පවුලේ සියලු සාමාජිකයෝ සහභාගී වූහ.

එහෙත් 2015 ජනාධිපතිවරණයෙන් පසුව රණතුංග පවුලේ බෙදීමක් හටගත් අර්ජුන එක්සත් ජාතික පක්ෂයටත් රුවන් මෛත්‍රී පිලටත් එක්විය. ප්‍රසන්න නියෝජනය කළේ මහින්ද පිලය. මේ නිසා ප්‍රසන්න විසින් සංවිධාන කරන රෙජී සමරුවට සහභාගී වීම අර්ජුන ඇතුළු පිරිස මඟහරින ආකාරයක් දක්නට ලැබුණි.

අර්ජුනලා රෙජී සමරුවට සහභාගී නොවන්නට ප්‍රධාන හේතුවක් වූයේ එම උත්සව මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමය. ඒ අනුව නිවසේ පැවැත්වෙන ගුණ සමරුවට සහභාගී නොවන අර්ජුන, ධම්මික ඇතුළු පිරිස රෙජී රණතුංග සමරුවට පුෂ්පෝපහාර දැක්වීමට පමණක් සහභාගී වීම පසුගි කාලයේ දකින්නට ලැබුණි.

සෑම වසරකම සමරු උත්සව වෙනුවෙන් රෙජී රණතුංග ස්මාරකය සරසන ප්‍රසන්න උදෑසන 9.15ට පැමිණ ඊට පුෂ්පෝපහාර දැක්වීම සිරිතක් වශයෙන් කරගෙන ආ අතර සහෝදරයන් අතර අර්බුද ඇතිවීමෙන් පසු ප්‍රසන්නට පෙරාතුරව උදෑසන 7ට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට අර්ජුනලා වගබලා ගත්හ.

ඒ අනුව මෙවරත් අර්ජුනලා උදෑසන පුෂ්පෝපහාර දැක්වීමට පැමිණියහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන කීවේ  “මහින්ද මහත්තයා වගේ අපේ තාත්තා පක්ෂය කැඩුවේ නැහැ. පක්ෂය විතරක් නෙමේ අපේ පවුලත් කැඩුවේ මහින්දයි. එයා අපේ තාත්තට සැලකුවේ නැහැ” කියාය. පසුව එහි පැමිණි ප්‍රසන්න ද අර්ජුනගේ ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නේය.

“මහින්ද මහත්තයා අපේ තාත්තට සැලකුවේ නැහැ කියලා කියන සමහරුන්ට අද අමතක වෙලා තියෙනවා ඒ අය ඉන්නේ කා එක්කද කියලා. තාත්තට පිහියෙන් ඇනපු, තාත්තගේ ගේ ගිනි තියපු මිනීමරුවෝ එක්ක එකතු වෙලා ඉන්න එක තරම් ද්‍රෝහිකමක් තවත් නැහැ. අපේ තාත්තට කරන්න පුළුවන් ලොකුම අපහාසය තමයි ඒක” ප්‍රසන්න කිවේය.

පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව ඡන්ම දින සැමරුම් උළෙල පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ඒ උඩුගම්පොළ පිහිටි රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදීය. විශාල පිරිසක් එම උත්සවයට පැමිණ සිටි අතර දිනේෂ්, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන් රණවීර, සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, නිමල් ලන්සා ඇතුළු මන්ත්‍රිවරු ද ඊට එක්ව සිටියහ.

උළෙලින් අනතුරුව ප්‍රසන්නගේ නිවසෙහි මහින්දට දිවා අහාරය සූදානම් කර තිබුණි. සිරිතක් වශයෙන් මහින්ද උඩුගම්පොළට පැමිණෙන සෑම අවස්ථාවකම ඔහුට දිවා ආහාරය සූදානම් කෙරෙන්නේ ප්‍රසන්නගේ බිරියගේ අතිනි. ඒ අනුව මෙවර ද මහින්ද වෙනුවෙන් රසවත් කෑමවේලක් සකස් කිරීමට මොරුන් රණතුංග පියවර ගෙන තිබුණි.

දිවා ආහාර වේල සකස් කෙරෙන තුරු මහින්ද ඇතුළු පිරිස දේශපාලන කතාබහක නියැලෙමින් සිටියහ. එහි පැමිණ සිටි නිශාන්ත රණතුංග පෙන්වමින් මහින්ද කීවේ ” ආ මේ නිශාන්තත් ඇවිත් ඉන්නේ. නිශාන්ත ආවට අනෙක් සහෝදරයෝ ටික නම් මම එන හින්දා මේකට එන්නේ නැහැනේ” කියාය.

“එයාලා උදේම ඇවිත් පුෂ්පොපහාර දක්වලා ගිහින් තිබ්බා” ඉන්දික පැවසීය.

“මේකනේ සර් වැඩේ. සහෝදරයන් අතර වුණත් දේශපාලන මතබේද තියෙන්න පුළුවන්. ඒ අය මම දරන මත‍යම දරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ වුණත් මොන මතබේද තිබුණත් තාත්තගේ වෙනුවෙන් ඒ සේරම අමතක කරලා මේකට සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉස්සර ඉඳලම මේවා සංවිධානය කළේ මම. ඉතින් මේ වැඩේ මගඅරිනවා කියන්නේ තාත්තට නොසලකා අරිනවා කියන එකම තමයි” ප්‍රසන්න පැහැදිලි කළේය.

“ඔයා ඕවා ගණන් ගන්න එපා. එයාලට කවදා හරි තේරෙයි. මොනවා වුණත් සහෝදරයන් අතර ගැටුම් ඇති කරගන්න එපා” මහින්ද අවවාද කළේය.

“පළාත් පාලන ඡන්දෙන් පස්සේ ආණ්ඩුවට යනඑන මං නැති වෙලා තියෙන්නේ. දැන් පාර්ලිමේන්තු සැසියත් කල්දාලා. ආණ්ඩුව එක්කෝ රට පාලනය කරන්න ඕනේ. නැත්නම් පුළුවන් කණ්ඩායමකට දීලා අයින් වෙන්න ඕනේ” ප්‍රසන්න දේශපාලන කතාබහක් අරඹමින් පැවසීය.

“ඒ කතාව ඇත්ත. මේවායින් පේන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි” මහින්ද කීවේය.

“මේක වැඩබැරි ටාසන්ලාගේ ආණ්ඩුවක්” රණවිර සිනාසෙමින් කීවේය.

“ආණ්ඩුව හොඳාකාරවම දන්නවා තවදුරටත් රට පාලනය කරන්න සදාචාරාත්මක අයිතියක් නැති බව. ඒ නිසා කොහොම හරි බලයේ ඉන්නයි ඒ අයගේ සූදානම” ප්‍රසන්න පැවසීය.

“අද රටේ කතාබහට ලක්වෙන්නේ ඇත්තටම රටේ තියෙන ප්‍රශ්න නෙමෙයි. මිනිස්සුන්ට අවුරුදු සමරන්න විදියක් නැතුව ඉන්න කොට කතා කරන්නේ ඒක ගැන නෙමේ අලුත් ව්‍යවස්ථාව ගැන. එහෙමත් නැත්නම් අර්ජුන් මහේන්ද්‍රන් ගැන. ආණ්ඩුව තමයි රටේ ප්‍රශ්න යටගහන්න මේ වගේ මාතෘකා හදලා දෙන්නේ. අපි ඒවට අහුවෙන්න හොඳ නැහැ” මහින්ද පෙන්වා දුන්නේය.

“සර් කියන කතාව ඇත්ත. ආණ්ඩුවට මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්න බැරි වුණත් ඒ වගේ නූල් සූත්තර වැඩ නම් හොඳට පුළුවන්. මංගලලා, රනිල්ලා එකතු වෙලා දෙන ලනු අපි ගිලින්න හොඳ නැහැ” ප්‍රසන්න කීවේය.

එදින සවස මහින්දට පොළොන්නරුව ප්‍රදේශයේ උත්සව කිහිපයකට සහභාගී වීමට සිදුව තිබුණි. එම නිසා දිවා ආහාරයෙන් පසුව මහින්ද ප්‍රසන්නගේ නිවසට වී විවේකී සුවයෙන් කාලය ගත කළේය. මහින්ද එදින මිනුවන්ගොඩ නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන් සමඟ සමුහ ඡායාරූපයකට මුහුණ දුන්නේය.

සමූහ ඡායාරූපය ගන්නා තුරු නිවස ඉදිරිපිටට වී සිටි මහින්ද ” අර තියෙන්නේ කුඹුක් ගහක් නේද ප්‍රසන්න? යැයි ඇසුවේ ප්‍රසන්නගේ නිවස ඉදිරිපට තිබුණු රූස්ස කුඹුක් ගහක් පෙන්වාය. “ඔව් සර් අපේ තාත්තා තමයි ඕක හිටෙව්වේ. එයා හරිම ආදරෙන් බලා ගත්ත ගහක්.  ගහ නම් ඉතුරු වුණා. ඒත් තාත්තා ආදරෙන් හදපු ගේ රුවන් මල්ලි කඩලා දැම්මානේ. දැන් ඉතින් අපිට තියෙන් ඔය ගහ විතරයි“ ප්‍රසන්න පැවසුවේ කණගාටුවෙනි.

මහින්ද වායනයට නැග ප්‍රසන්නලාගේ නිවසෙන් පිටත්ව යාමට සූදානම් වන විට තරුණ තරුණියන් සියයක පමණ පිරිසක් එහි පැමිණ සිටිනු දකින්නට ලැබුණි. ඔවුන් රෙජී රණතුංග පදනමේ ආධාරයෙන් අධ්‍යාපනය ලබන සිසුසිසුවියන්ය. මහින්දගේ රිය වටකරගත් තරුණ තරුණියෝ මහින්දගේ අත්සන තම තමන්ගේ පොත්වලට ලබා ගන්නා අයුරු දකින්නට ලැබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here