රහස් පොලිසිය පැය දෙකක් මහින්දගෙන් ඇහුවේ මොනවාද?

0

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් කෘෘර වධ හිංසනයට පැමිණවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ගැනීම සඳහා රහස් පොලිස් නිලධාරීන් සිකුරාදා පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්දගේ විජේරාම පිහිටි නිල නිවෙසට ගියේය. එදින මහින්දට විවාහ මංගල උත්සව තුනකට අස්සන් කිරීමට නියමිතව තිබිණි. ඉන් මනාල යුවළ 2ක් විජේරාම පිහිටි නිල නිවෙසට පැමිණ එම චාරිත්‍ර ඉටුකරගෙන ගිය අතර තවත් විවාහ මංගල උත්සවයකට සහභාගි වීම සඳහා මහින්ද හිල්ටන් හෝටලයට ගියේය. පෙරවරුවේ සිටම විජේරාම නිල නිවෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් වන දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල්, වෙල්ගම, ලන්සා, චානක, කංචන, තේනුක, ෂෙහාන්, රෝහිත, මුතුකුමාරණ, ජනක ඇතුළු පිරිසක්ද ශ්‍රී ලනිප 16 කණ්ඩායමේ සුසිල්, එස්.බී. චන්දිගම, ලක්ෂ්මන් වසන්ත, ඩිලාන්, සුදර්ශනී ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. ඊට අමතරව පළාත් සභා නගර සභා මන්ත්‍රිවරුන්, කලාකරුවන් විශාල පිරිසක්ද විජේරාම නිවෙසේ සහ ඒ අවට ජනතාවද රැස්ව සිටියහ. එහි විශේෂත්වයක් වූයේ ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥ මන්ත්‍රිවරු කළු කෝට් සහ කළු ටයි පැලඳ පැමිණ සිටීමය. ලක්ෂ්මන් වසන්ත, සුසිල්, ඩිලාන් සහ චන්දිම යන මන්ත්‍රිවරු ඒ අතර වූහ. මඳ වේලාවකට විජේරාම නිවෙස උසාවියක වෙස් ගත්තේය.

පෙරවරු 11.30ට පමණ හිල්ටන් හෝටලයේ සිට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාද සමඟ මහින්ද නිල නිවෙසට පැමිණියේය. මහින්දගේ වාහන පෙළට ඉදිරියෙන් රහස් පොලිස් නිලධාරීන්ද පැමිණියේය. ඔවුන් පැමිණියේ ජීප් රථ දෙකකිනි. කේ.එස්. 5303 සහ 61-7451 යන ජීප් රථ දෙකෙන් ඔවුහු පැමිණියහ. රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති රවි සේනාරත්න, අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ තවත් නිලධාරීහු සිවු දෙනකු මහින්දගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැමිණියහ. පෙරවරු 11.40ට පමණ විජේරාම නිවෙසේ කාමරයක රහස් පොලිස් නිලධාරීන් ප්‍රකාශය ලබාගත් අතර මහින්ද සමඟ හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස්, හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, ජනාධිපති නීතිඥ ජයන්ත විජේසේකර සහ අලි සබ්රි ද මහින්ද සමඟ එම කාමරයේ සිටියහ.

එහි මිනිත්තු 10ක් පමණ ගතකර සෙසු නිලධාරීන් ප්‍රකාශය සටහන් කර ගැනීමට සලස්වා නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විජේරාම නිවෙසින් පිටව ගියේය. සෙසු නිලධාරීහු පස්වරු 1.40 පමණ වන තුරු මහින්දගේ ප්‍රකාශය සටහන් කර ගත්හ. අනතුරුව සටහන් කරගත් ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ නීතිඥයන්ට ඇසෙන්නට කියැවීමටද එම නිලධාරීන් කටයුතු කළහ.

ප්‍රකාශය ලබාදීමෙන් පසුව එම කාමරයෙන් එළියට පැමිණි මහින්ද රැස්ව සිටි ජනතාව ‘ජය වේවා… පළිගත්තට අපි ඔබ සමඟයි’ යැයි කෑ ගසන්නට වූහ. අනතුරුව රැස්ව සිටි මාධ්‍යවේදීන්ට මහින්ද අපූරු කතාවක් කීවේය.

මේකෙන් එක දෙයක් තේරෙනවා. ඛ්ධ්ච් යේ ප්‍රකාශයකින් කියැවුණා කරු ජයසූරිය මෙම සිද්ධිය වුණු දවසෙ මට කෝල් කරල තියෙන්නෙ රෑ 11.40ට කියලා. ඒකෙන් පේනවා මම රෑ 10.00ට නිදා ගන්න ජනාධිපති කෙනෙක් නෙවෙයි කියලා’ යැයි මහින්ද සිනාසෙමින් කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here