රනිල් වටෙත් ඔත්තුකරුවන් යන බව හෙළිවෙයි

0

අගමැති රනිල් වික්‍රමසිංහ මාස කිහිපයකට පෙර සිට ඉන්දියාවේ නිල සංචාරයක් සැලසුම් කොට තිබුණේද මේ සති අන්තයේදී වීම අදාළ සිද්ධීන් වඩාත් තීරණාත්මක බවක් ගත්තේය. ඉන්දියාවට යෑමට පෙර රාජකාරි කිහිපයක් සම්පූර්ණ කිරීමට අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදේ අරලියගහ මැදුරට ආවේ එහි ගිනියම් පසුබිම මැදය. ඔහු සුපුරුදු පරිදි පැමිණ සිටි මැති ඇමැතිවරු සමඟද එකී උණුසුම් පසුබිම ගැන අදහස් හුවමාරු අදහස් කර ගත්තේය.

‘2015දී ජනපති මෛත්‍රි දිනෙව්වේ මම පරාද කළේ ‘රෝ’ එකෙන් කියලයි මහින්ද රාජපක්‍ෂ එදා කිව්වේ’ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල අතීතය සිහිපත් කරමින් කතාවට මුලපිරීය.

‘ජනාධිපතිතුමා මට උදේ කතා කළා. මෝදිට කතා කළා. මහ කොමසාරිස්ට කරුණු පැහැදිලි කළා. දැන් ප්‍රශ්නයක් නෑ කිව්වා. ප්‍රශ්න දුරදිග යන්නේ නැතිව ඔයින් ගියා ඇති’ අගමැති කීය.

‘කොළඹ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාව එක්ක එකතුව දියුණු කරන්න ඇමැති මහින්ද සමරසිංහ මැයි 15 කැබිනට් පේපර් එකක් දාලා සැප්තැම්බර් 18දා ඒක අවලංගු කරන්න යෝජනා කළාම ඒ ගැන අධ්‍යයනය කරන්න මංගල හා මලික්ට භාරදී තියෙනවා. ඒ නිරීක්‍ෂණය ගිය අඟහරුවාදා කැබිනට් එකට ඇවිත් තියෙන්නේ. ජනාධිපතිතුමාත් මේ පර්යන්තය ගැන මීට කලින් මෝදි එක්කත් කතා කරලා තියෙනවා. පසුව ජපානයට ගිහින් ජපාන අගමැති එක්කත් කරුණු කතා කරලා තියෙනවා. නිමල් සිරිපාලලත් එතැන හිටියා. මොකද බටහිර පර්යන්තය ජපානය මෙහෙයවන්න සූදානම් නිසා ඒ පැහැදිලි කිරීම් කරලා තියෙන්නේ’ මලික් සමරවික්‍රම කීවේය.

‘නැඟෙනහිර පර්යන්තයේ 80%ක් ප්‍රති අපනයන කටයුතු කරන නිසා ඉන්දියාව එක්ක එකතු වෙලා වැඩ නොකළොත් ඒකේ කටයුතු 20% බහිනවා කියන්නේ ඇත්තද? අඟහරුවාදා සියල්ල ගැන එකඟතා ඇති නොවුණත් තීන්දුවට සතියක් කල් යෑම විතරද සිදුවුණේ’ චමින්ද විජේසිරි විමසීය. එවිට ඇමැති මලික් කීවේ ‘ඔව්’ කියාය.

‘මම ඉන්දියාවේ යන නිසා ගිහින් ඇවිත් ලංකාවට වඩාත් වාසි හා සුදුසු තීන්දුවක් ගැන බලන්න පුළුවන් වේවි’ අගමැති කීය.

‘නැඟෙනහිර පර්යන්තයේ හදලා තියෙන්නේ භාගයයි. ඉතිරි ටික හදන්න ඕනෑලු. බටහිර පර්යන්තේ දිග නිසා එතැන බිස්නස් වැඩිලු. ජපානය එක්ක එකතු වුණොත් එයාල බටහිර එක සංවර්ධනය කරනවාලු. ඒත් කේ‍ර්න් හා අනෙක් උපකරණ ගන්න අපේ කට්ටිය දඟලනවා. ඒ කොමිස් අරමුණෙන් බව වෘත්තීය සමිති කියනවා. උපකරණ හයර් එක දෙන්නම් කියලා ජපානේ කිව්වාම අපේ කට්ටිය ඒකටත් අකැමැතිලු. හම්බ කිරීම මිසක් දේශප්‍රේමයක් මෙතැන නෑ වගෙයි’ චමින්ද විජේසිරි කීවේ වෘත්තීය සමිතිවල තොරතුරු මතය.

‘දැන් ඉන්දියාවේ ගියාම මෝදියි එහේ ජනමාධ්‍යයයි ‘රෝ’ හා නැඟෙනහිර වරාය ගැන අගමැතිතුමාගෙන් අහවි නේද?’ ලක්‍ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

‘මට මුකුත් කියන්න දෙයක් නෑ. ජනමාධ්‍යය නොයෙක් ඒවා කිව්වනේ. වැරැදි ප්‍රවෘත්ති නිවැරැදි කරන එක විතරයි මට තියෙන්නේ අගමැති කීවේය.

‘ලංකාවේ හා ඉන්දියාවේ මාධ්‍යත් මේක අවුළුවන්න දඟලන නිසා ජනමාධ්‍ය මඟඅරින එක මේ වෙලාවේ හොඳම උපක්‍රමයයි’ දයා ගමගේ අවවාදයක ස්වරූපයෙන් කී විට අගමැතිවරයා සිනාසුණා මිසක කිසිවක් කීවේ නැත.

‘නැඟෙනහිර වරාය කැබිනට් පත්‍රිකාව වරාය ඇමැතිගේ. ජනාධිපතිතුමා ඉන්දියාව එක්ක කතා කරලා ප්‍රශ්න බේර ගත්තා. අන්තිමට ඇමැතිගේ පිටින් ඔක්කොම කුණු කන්දල් යාවිද දන්නේ නෑ’ වජිර අබේවර්ධන කීවේ එවැන්නකි.

‘අගමැතිතුමාගේ දකුණෙන් ඉන්දියානු ඔත්තු සේවය වමෙන් චීන ඔත්තුකරුවෝ යටින් රුසියානු ඔත්තුකරුවෝ උඩින් සී.අයි.ඒ. කාරයෝ ඉන්නවාද දන්නේ නෑ බලාගෙන’ විජයදාස රාජපක්‍ෂ කීවේ කාගේත් සිනාමැදය.

‘මම ඔය පැති හතරම බලලායි ගෙදර ඉන්නෙයි වාහනයට නඟින්නෙයි. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ’ අගමැති කීවේද උස් සිනා හඩක් සමඟිනි.

‘ඉන්දියාවත් එක්ක මීට පෙර අස්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව අතපසු වූ වැඩ ගැන එහේ අගමැති විදේශ වෙළෙඳ හා ප්‍රවාහන ඇමැතිවරු එක්ක මේ සංචාරයේදී කතා කරනවා. උතුරේ ගෙවල් හා යටිතල දියුණුව ගැනත් කතා කරනවා. සෝනියා ඇතුළු විපක්‍ෂයේ නියෝජිතයොත් හමුවෙනවා’ අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

‘මේ රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ගැන අවධානයක් කිරීම අත්‍යවශ්‍යයි. අසරණ අයට සහන සලසන්න තියෙන මුදල් ගසාකන හා වසර 20 – 30 මේවා අල්ලගෙන ඉන්න කෝටිපති එන්.ජී.ඕ. කාරයොත් ඉන්නවා. සමහර ආයතනවල මුදල් රට අවුල් කරන දේවල්වලටත් යොදවන බව ආරංචියි’ දයා ගමගේ කීය.

‘එන්.ජී.ඕ. ගැන හොයන්න ශ්‍රී ලංකා රතුකුරුසේ ගැන විශේෂයෙන් හොයන්න කියලා දයාට ඉල්ලීම් ආපු ඒවායේ පිටපත් මටත් ලැබිලා තියෙනවා’ අගමැති කීය.

‘දැන් ඇමැතිවරු 15කින් යුක්ත භාරකාර රජය පිහිටුවලා ඉවරද’ කිරිඇල්ල ඇසීය.

‘භාරකාර එකේ ‘බාරේ’ ගැටගහන්න සාටකයෙන් රෙදිකෑල්ල දුන්නේ නෑ කියලායි ආරංචිය’ චමින්ද විජේසිරි කීවේ සිනාමැදය. ‘සමහරු අලුත් ආණ්ඩු ගැන රෙද්ද උස්සාගෙන දැඟලුවාට අන්තිමට රෙද්ද අස්සේ මොකුත් නෑ කියලා රටම දැක්කා’ චමින්ද වැඩිදුරටත් කීවේය.

‘ඒකාබද්දේ ඇතුළේ කචල් එක එන්න එන්නම ගිනියම් වෙනවා. වෙල්ගමලා, දිනේෂ්ලා, වාසුලාට ගෝඨාගේ ටීම් එක ගහනවා. එයාලා රිටර්න් දෙනවා. එදා කොබ්බෑකඩුවට දුන්නා වගේ දැන් රාජපක්‍ෂලාගෙන් පිට කෙනකුට ජනපති අපේක්‍ෂකත්වය ඕන බවයි එතැන හුඟ දෙනෙක් කියන්නේ. මහින්ද පැරදුණු නිසා පවුලේ හයිය ගියා. ඒ නිසා පවුලටම මේක සීමා කරන්න බැරි තත්ත්වයක් ඇවිත්. විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ මිලිටරි ආණ්ඩුවකට ඒකාබද්ධෙ අය වගේම ජනතාවත් බහුතරයක් කැමැති නෑ’ විජයදාස රාජපක්‍ෂ කළේ එවැනි විග්‍රහයකි.

‘හානිපූර්ණත්ව පනතෙන් කොටින්ට සල්ලි ගෙවන්න යන බවට ඒකාබද්ධය කියනවා. එදා කකුලක් නැති කොටි නායකයාට රාජපක්‍ෂලා කෝටි කීයක් දුන්නද කියලා ඒකාබද්ධෙට දැන් අමතකයි. අනෙක ජොන්ස්ටන්ගේ නඩු තීන්දුව දේශපාලනිකව ආණ්ඩුවට අවාසි බව මිනිස්සු කියනවා’ චමින්ද විජේසිරි කීය.

‘දැන් අධිකරණය ස්වාධීනයි කියලා ඔප්පු වුණා. ජනතාව ඒක තේරුම් ගනිවී. ඒ කාලේ වගේ දුරකථන ඇමැතුම්වලට දැන් නඩු තීන්දු ලියන්නේ හෝ අග්‍රවිනිශ්චයකාරවරුන්ගේ ගෙවල් ඉස්සරහට පාතාලේ අය දාලා කුණුහරුප කියවලා අටපාස් අය දාලා නඩු අහලා අග්‍රවිනිශ්චයකාරවරු දැන් පන්නන්නෙත් නෑ. මිනිස්සු මේවා හිතට ගනීවි’ ලක්‍ෂ්මන් කිරිඇල්ල කීදේ අගමැති ඇතුළු සියලුදෙනා අනුමත කළහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here