රණවිරු ජයග්‍රහණය මාධ්‍ය හුඟකට අමතක බව ජනපති කියයි

ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවත්විණි.

එහිදී ජනාධිපතිවරයා රාජ්‍ය මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය රණ්විරු සැමරුම් ගැන දක්වන ප්‍රතිචාර ගැනද කතා කලේය.

“පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුළ අපි වර්තමාන රජය විදියට උත්සාහ කළේ එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කරන්න. අපිට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් භෞතික වශයෙන් පරාජය කිරීමට හැකි වුණා. යුදමය වශයෙන් පරාජය කිරීමට හැකි වුණා. මුහුදෙන් එගොඩ සිටින මේ ත‍්‍රස්තවාදී සංවිධානයට අයත් අදත් සිටින පිරිස් ලෝකයේ විවිධ රටවල්වල සිට අපේ රටට අභියෝග කරනවා. ශ‍්‍රී ලංකා රජයට අභියෝග කරනවා. පසුගිය මාසයේ මා ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ගිය අවස්ථාවේ ලන්ඩනයට එක්වූ බටහිර රටවල්වල සිටින ත‍්‍රස්තවාදීන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුද්ගලයින් ශ‍්‍රී ලංකා රජයේ ජනාධිපතිවරයා විදියට දැඩි ලෙස ඔවුන් මට විරුද්ධව විරෝධතා පවත්වනු ලැබුවා. ඔවුන්ගේ සටන් පාඨවල තිබුණේ ඔවුන්ගේ සටන නවත්වන්නේ නැති බවයි. පසුගිය අවුරුදු තුනහමාරේ අන්තර්ජාතික සබඳතා ශක්තිමත් කරමින් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින් සමග මිත‍්‍රත්වය සහ සුහදතාව ගොඩනගමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛව ජාත්‍යන්තර සංවිධානවල හිත් දිනාගනිමින් අපේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ පැහැදිලි ලෙසම විශාල උත්සාහයක් දරමින් මා පෞද්ගලිකවත් කටයුතු කළේ මේ මතවාදය පරාජය කිරීම සඳහායි.

 

යුද්ධය අවසන්වී අද මේ වකවානුව තුළත් අප කැපවිය යුතු වෙනවා එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කිරීමට. දේශපාලන පක්ෂ භේදවලින් තොරව සියලු ආගමික විවිධ භේදයන්ගෙන් තොරව ශ‍්‍රී ලාංකිකයින් විදියට ඔබත් මමත් මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. මතවාදය පරාජය කිරීම සඳහා කැපවිය යුතු වෙනවා. අපේ රණවිරුවාට තිබූ වීරත්වය, සටන්කාමීත්වය, අධිෂ්ඨානය, අවංකභාවය, කැපවීම, දේශමාමකත්වය, දේශවාක්සල්‍යත්වය, දේශය පිළිබඳව සිය අභිමානය මේ සියල්ල සමගයි ඔවුන් ජීවිත පරිත්‍යාග කරනු ලැබුවේ. ඔවුන්ගේ අතපය අහිමි වූයේ ආබාධ වූයේ ඔවුන්ගේ දරුවන්, බිරින්දෑවරුන්, දෙමව්පියන් සමග පවුල් ජීවිත ඔවුන්ට අහිමි වුණා. අපි සැමවිටම රණවිරුවාට දිය හැකි ඉහළම ගෞරවය පුද කළ යුතු වෙනවා. ඉහළම ප‍්‍රණාමය අප විසින් පුද කළ යුතු වෙනවා.

 

යුද්ධය පැවැති කාලයේත් යුද්ධය අවසන් කළ අවස්ථාවේත් පෙර පැවැති රජයන් රණවිරුවන් වෙනුවෙන් මියගිය පවුල්වල සුබසාධනය වෙනුවෙන් ආපදාවට පත්වූ රණවිරුවන් වෙනුවෙන් එමෙන්ම සේවාවන්වල යෙදී සිටින සියලු ආරක්ෂක අංශවල කාර්යය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් දිය හැකි දිය යුතු බොහෝ වරප‍්‍රසාද දෙනු ලැබුවා. දීමනා වැඩි කිරීම්, වැටුප් වැඩි කිරීම්, විශ‍්‍රාම වැටුප්වල විෂමතාවයන්, වෙනත් පහසුකම් සැමවිටම ලබා දෙනු ලැබුවා. ඒ සියලු කටයුතුවලදී පසුගිය වසර තුනහමාරක කාලය තුළ අපේ වර්තමාන රජය තුළද එවැනි දේ ඉතාමත් ඉහළින්ම ඉටු කරනු ලැබුවා. එහෙත් මා පැහැදිලිව කියනවා, වර්තමාන රජය තුළත් බොහෝ වරප‍්‍රසාද, පහසුකම් රණවිරු පවුල්වලට ලබා දුන් බව. රණවිරුවා කිසිවිටකත් දේශපාලන අතකොලුවක් නොවිය යුතුයි. දේශපාලනඥයින්ට බලයට එන්න, බලය තිබෙන ආණ්ඩු පෙරළන්න දේශපාලන පක්ෂ සංවිධානය කරන්නට මේ උතුම් රණවිරුවා කිසිවිටකත් දේශපාලන පක්ෂවල හස්තයන්ට යටත් නොවිය යුතුයි කියා මා ඉතා පැහැදිලිව සඳහන් කරනවා.

රටක් වශයෙන් කටයුතු කරන විට රට තුළ තිබෙන අප විසින් ලබාදී ඇති නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ඕනෑම කෙනෙකුට නිදහසේ කතා කළ හැකියි. නිදහසේ ලියන්න පුළුවන්. නිදහසේ විරෝධතා පවත්වන්න පුළුවන්. ඒ සියල්ල තුළ අපගේ වගකීම් සහ යුතුකම් පැහැදිලිව තේරුම් ගත යුතුයි. ඇතැම් දේශපාලන මොළේ අමාරුකාරයින්ට රණවිරුවා සහ ත‍්‍රස්තවාදියා තේරුම් ගැනීම නොහැකි වූවා සේම ඇතැම් වේලාවට මා කනගාටුවෙන් වූවත් කිව යුතුයි රාජ්‍ය මාධ්‍යවලටත් රණවිරුවා පිළිබඳව පැහැදිලි ඇගයීමක් කරන්නට ඔවුන්ට කුමක්දෝ අතපසුවීමක් ඇතිවී තිබෙනවා.

 

මා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැහැදිලිවම කියනවා රණවිරුවාට දිය හැකි ගෞරවය සහ සැබෑ රණවිරුවා ජීවිතය පරිත්‍යාග කරමින් කළ කැපකිරීම් පිළිබඳව කිසිවිටකත් අමතක නොකරමින් ජනතාවට ඒ මතකය අවධි කරමින් ඔවුන්ට ලබා දිය යුතු ගෞරවය සැමවිටම ලබා දෙන්න කියා.

 

රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන රණවිරුවන් වෙනුවෙන් අපේ රජය කරනු ලැබූ සේවාවන් පිළිබඳව කතා නොකිරීම පිළිබඳවත් මම කනගාටු වෙනවා. දේශපාලන වාසි තකා ඇතැම් දේශපාලනඥයින් කරන කතාවන්, සමහර අය කියා තිබෙනවා රණවිරුවන්ව මේ රජය අමතක කළා කියා. මම ඉතා පැහැදිලිව කිව යුතුයි, අපේ රජය බලයට පත්වෙන්න කළින් තිබුණේ රණවිරු සතියක්. මේ මැයි මාසය අපේ රජය විසින් අමාත්‍ය මණ්ඩලය විසින් රණවිරු මාසයක් බවට පත් කරනු ලැබුවා. මේ රණවිරු මාසය තුළම රණවිරුවාගේ ගුණ සිහිපත් කරමින් ගෞරව කරමින් එම වැඩසටහන ශක්තිමත් කරමින් පින් පමුණුවමින් විවිධ කටයුතු රාශියක් මේ මාසය තුළම සිදු වුණා. සිදු වෙනවා.

 

අද දවස ගත්විට, අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාවේ යුද කාලය තුළ දක්ෂතාවයන්, කැපවීම් පෙන්නූ සේවාවේ යෙදී සිටි රණවිරුවන්ට ඉහළම ගෞරවනීය ජනාධිපති සම්මානය දෙනු ලැබුවා. අද දහවල් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ස්වාමීන් වහන්සේලා දෙසීයකට වැඩි සංඛ්‍යාවක් වැඩමකරවා පින් පමුණුවා දානයක් පිරිනැමුවා. මේ ස්ථානයේදී ජාතික රණවිරු සමරු වැඩසටහන පවත්වනවා. අද රාත‍්‍රීයේදී කැලණිය රාජමහා විහාරස්ථානයේ ත‍්‍රිවිධ හමුදාව, ආරක්ෂක හමුදාව, ආරක්ෂ අමාත්‍යාංශය, පොලිසිය අපි සියලු දෙනා එක්වී රණවිරුවන්ට පින් අනුමෝදන් කරවීමේ මහා පහන් පින්කමක් අපි පවත්වනු ලබනවා. රණවිරු සේවා අධිකාරිය ඇතුළුව යුද, නාවික, ගුවන් ත‍්‍රිවිධ හමුදාත්, පොලිසියත්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මේ මාසය තුළ අනෙකුත් අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන එමෙන්ම රාජ්‍ය නොවන ආයතන මහජනතාවගේ සහයෝගය ලබා ගෙන රණවිරුවන්ව සමරමින් ඔවුන්ට ගරු කරමින් ඔවුන්ව සිහිපත් කරමින් සිය වගකීම් සහ යුතුකම් ඉටු කරනවා.

 

පූජාච පූජනීයාණං – ඒතං මංගල මුත්තමං. පිදිය යුත්තන් පිදීම මංගල කාරණයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. ත‍්‍රිවිධ හමුදාවත්, රජයත් සියලු දෙනාම මේ රටේ ජාතික සංහිඳියාව ශක්තිමත් කරන්න කැප වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩමකළ අවස්ථාවේ මිහින්තලාවේදී දේවානම්පියතිස්ස මහරජු හමුවූ අවස්ථාවේ මිහිඳු මාහිමිපාණන් වහන්සේ දුටුවේ දෙවනපෑතිස් රජුගේ අතෙහි තිබෙන සතුන් දඩයම් කිරීමට තිබූ දුන්නත් ඊතලයත්. මිහිඳු හිමිපාණන් වහන්සේ දෙවනපෑතිස් මහරජතුමාට ධර්ම දේශනා කරන ලද්දේ, මහරජ අවි බිම තැබීම අවශ්‍යයි. අවි බිම තැබීමෙනුත් අන්තවාදය අත්හැරීමෙනුත් සමාජය තුළ ආධ්‍යාත්මික ගුණවගාව ශක්තිමත් කරමින් විවිධ මත, දර්ශනයන් තුළ යහපත්, ගුණවත්, සැදැහැවත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ රටක් ගොඩනැගිය හැකියි යන්නයි. අපි යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් අද අවි බිම තබා තිබෙනවා. අද අපි අවි ඔසවාගෙන නැහැ. එහෙත් අන්තවාදය කරපින්නා ගත් පිරිස් මේ රටේ උතුරේ සහ දකුණේ සිටිනවා. අන්තවාදී පිරිස්, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන රට අවුල් කරන්න උත්සාහ ගන්නවා. මේ ප‍්‍රශ්න අවුල් කරන්න උත්සාහ ගන්නවා. අපි සෑම කෙනෙක්ම මේ තත්ත්වයන් පිළිබඳව ඉතාම වගකීමෙන් කටයුතු කළ යුතුයි. හෙට දවසේ තිබෙන්නාවූ අභියෝග අප විසින් ජය ගත යුතු වෙනවා.

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here