රට වෙනුවෙන් කල හැකි ලොකුම පිංකමක් ගැන ප්‍රසන්න කල හෙළිදරව්ව

0

රට, ජාතිය වෙනුවෙන් වර්තමානයේ කළ හැකි ලොකුම පිංකම කුමන හෝ ක්‍රම‍යකින් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට තීරණය කළේ ද ඒ නිසා බව පැවසූ රණතුංග මහතා රට, ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති සියලු මන්ත්‍රිවරුන් එම විශ්වාසභංග යෝජනාවට දිනවීමට කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය.

මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ වෘත්තිකයන් පිරිසක් සමඟ උඩුගම්පොළ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ වෙනකොට අගමැතිවරයාට එරෙහිව අපි ඉදිරිපත් කරන්නට සූදානම් වන විශ්වාසභංග යෝජනාව තීරණාත්මක මංසන්ධිකයට ඇවිත් තිබෙනවා. මේ විශ්වාසභංගය අගමැතිවරයාට පමණක් නොවෙයි සමස්ථ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයයක් ලෙසයි අපි හඳුන්වන්නේ.

මම එහෙම කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් වූ දා පටන්ම ජනතාවගේ විශ්වාසය භංග වෙලා තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මහතා සතුව තිබුණු පාලන බලය මේ ආණ්ඩුවේ සිටින අය විසින් පැහැරගත්තේ බොරු කියලා ජනතාව මුලා කරලයි.

බොරුවෙන් බලයට ආපු ආණ්ඩුවට රට හදන්න කිසිම වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ වුණේ තමන් මෙහෙයවපු විදේශ බලවේගවලට අවනත වෙලා මහින්ද රාජපක්ෂ පාලනය නිමා කරන්න පමණයි. 2015 ජනවාරි 09 වැනි දා ඔවුන් ඒ අරමුණ ඉෂ්ඨ කරගත්තා.

නමුත් එතැනින් ඉදිරියට ඔවුන්ට ගමනක් තිබුණේ නැහැ. මේ ගෙවුණු අවුරුදු තුනේම ඔවුන් හැසිරුණේ එදා ජනාධිපතිවරණය ජයගන්නට දායකත්වය දීපු විදේශ බලවේගවලට ඕනෑ විදියටයි. ආණ්ඩුවක් විදියට රට ඉදිරියේ පෙනී හිටියත් පිටුපසින් සිට ආණ්ඩු‍ව මෙහෙයවූයේ ඒ බලවේගයි.

ඒ බව මේ ආන්ඩුවේ වසර තුනක වැඩපිළිවෙළ දෙස බැලුවම පැහැදිලි වෙනවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒකට හොඳ උදාරහණයක්. මේක ජනතාව විසින් ඉල්ලපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවෙයි. මේක ගෙනාවේ විදේශ බලවේගබල වුවමනාවටයි.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විදේශ බල‍වතුන්ගේ වුවමනාවට රට ගෙනියන්නේ කොතැනට ද කියන එක අපි කල්පනා කළ යුතුයි. ජාතික ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය මේ සෑම අතකින්ම රට වළපල්ලට යමින් තිබෙන බව අපිට රහසක් නෙමෙයි.

අන්න ඒ අගාධයෙන් රට ගොඩගන්න තමයි ඒකාබද්ධ විපක්ෂයේ අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ එකතු වෙලා සටන් කරන්නේ. අපේ සටන පටන් ගත්තේ බොහොම සුළුවට.

හැබැයි මේ වන විට රටේ බහුතර ජනතාව අපි සමග එකතු වෙලා ඉන්නවා. ඒ බව පහුගිය පළාත් පාලන මැතිවරණයේ දී තහවුරු වුණා. අලුතෙන්ම දේශපාලන ලෝකයට ආපු පොහොට්ටුව රටේ පෙරළිකාර ජයග්‍රහණයක් වාර්තා කළේ අපේ සටන ජනතාව අනුමත කරපු නිසයි.

දැන් අපිට වගකීමක් තිබෙනවා මේ සටන මෙතැනින් ඉදිරියට ගෙනියන්න. ඒ කියන්නේ මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීමේ වගකීම අපට තිබෙනවා. ඒ ජනවරම තමයි පහුගිය පළාත් පාලන ඡක්දෙදි අපිට ලැබුණේ.

ඒ සඳහා තමයි අපි අගමැතිවරයාට  එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන්නට සූදානම් කරලා තියෙන්නේ. මම දකින විදියට අද රටේ කරන්න පුළුවන් ලොකුම පිංකම තමයි මේ දේශද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක.

ඒ පින්කමට දායක වීමේ වගකීම පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රිවරුන්ට තිබෙනවා. අද මේ මල් වට්ටියට අත නොගැහුවොත් අනාගත පරපුර අපට සාප කරයි. ඒ නිසා අපි සියලු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය හමුවේ මේ තියෙන වගකීම ඉෂ්ඨ කරන්න එකතු වෙන්න කියලයි.

එදා මහින්ද රාජපක්ෂ මහත්තයට හොරා කියලා චෝදනා කරපු අය අද කම්බා හොරු බවට පත් වෙලා තිබෙනවා. අගමැති ප්‍රමුඛ රෝයල් කල්ලිය එකතු වෙලා මහ බැංකුව සුද්ධ කරලා කෝටි ප්‍රකෝටි ගාණක් සාක්කුවේ දාගත්තු බව අද හෙළිවෙලා ඉවරයි.

ඒ නිසා මේ වගේ හොරු රැලකට රටේ ඉරණම තවදුරටත් තින්දු කරන්න ඉඩ තියන්න බැහැ. ඒ නිසා මේ හොරු රැල ගෙදර යවන්න ඕනේ. මහ හොරත් එක්ක පොඩි හොරු සෙට් එකම ගෙදර යවලා මිසක් අපේ සටන අපි නතර කරන්නේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here