මුතුරාජවෙල වැනසූවන්ට ජනපති කියාදුන් පාඩම

0

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු කි‍්‍රයාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපතිවරයා  අදාළ අංශවලට අද පෙරවරුවේ උපදෙස් දුන්නේය.

එහි යම් ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

එමෙන්ම මෙවැනි පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා  අදාළ අංශ දැනුවත් කළේය.

මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමිය ආශි‍්‍රතව සිදුකෙරෙන පරිසර විනාශයන් පිළිබඳව පසුගියදා දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළ කෙරුණු අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා  අද (22) අළුයම එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

අනතුරුව ප‍්‍රදේශයේ මැති ඇමතිවරුන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප‍්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉහත තීරණවලට එළැඹිණි.

පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.

සින්නක්කර ඔප්පු සහිත ඉඩමක වුව ද පාරිසරික බලපෑම් ඇතිකරන්නේ නම් එහි ගොඩකිරීම් සහ ඉදිකිරීම් සඳහා ඉඩදිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම කි‍්‍රයා පිටුපස දේශපාලන බලවේග තිබේනම් ඒවාට එරෙහිව ද නොපැකිළිව කටයුතු කරන බවද කියා සිටියේය.

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නියෝග කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here