මහින්ද උපන්දිනයට සුබපතද්දී සුමනදාස සමාව ඉල්ලුවේ ඇයි..?

හිටපු රාජකීය දෛවඥ සුමනදාස අබේගුණවර්ධනගේ හැට හයවැනි උපන්දිනය වෙනුවෙන් බ්‍රහස්පතින්දා උදෑසන උපන්දින උත්සවයක් සංවිධානය කර තිබුණේ ඔහුගේ මහරගම නිවසේය. මැති ඇමැතිවරුන්, මාධ්‍යවේදී හිතවතුන් මෙන්ම තමන්ගේ පවුලේ හිතවතුන්ද උපන්දින සාදයට එක්ව සිටියහ. ඒ අතර සුමනදාස අබේගුණවර්ධන ගැන කාටූන ඇදි කාටූන් ශිල්පීන් සියලුදෙනාටම පාහේ ආරාධනා කර තිබුණේ ඔවුන් සමග සිය උපන්දිනය සැමරීමට තිබූ කැමැත්ත නිසාය. දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරමින් පැමිණ සිටියේ විජමු ලොකුබණ්ඩාර, නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර සහ තිස්ස අත්නායකය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට උපන්දිනයට පැමිණීමට නොහැකි වුවත් සුමනදාසට දුරකතන ඇමතුමක් දුන්නේය. ඔහුට ඇමතුම ගත්තේ මහින්දගේ හිටපු ලේකම්වරයෙක් වන චමින්ද කුලරත්නය. මහින්ද උපන්දිනයට සුභ පැතුවේ දිර්ඝායුෂද ප්‍රාර්ථනා කරමිනි.

“අනේ සර් මගේ අතින් ඔබතුමාට අබ මල් රේණුවකවත් වැරැද්දක් වෙලා නෑ“සුමනදාස මහින්දට කීවේය

“අද උපන්දිනය දවසනේ. අද වගේම හැමදාම ඔබතුමා සතුටින් ඉන්න“මහින්ද කීවේය.

මෙවර උපන්දින කේක් ගෙඩිය සකස් කර තිබුණේ දළ කේන්දරයක හැඩය ගනිමිනි. සුමනදාසගේ ලග්නය වන සිංහ ලග්නයත්, තුලා නවාංශකයත් කේන්දරයේ විය.  ඒ අතරම ඔහුගේ චරිතාපදනය ලිවීමේ කටයුතු ආරම්භ කෙරුණේද මේ අවස්ථාවේදීය.

“දශක තුනක් පුරා පැවති අති බිහිසුනු යුද්ධය අවසන් කළ රාජ්‍ය නායකයාගේ එකම ජ්‍යොතිශ්‍යය උපදේශකයා. මේ පොතේ වැඩිහරියක් තියෙන්නේ මහින්ද රාජප්කෂ මහත්තයා එක්ක කරපු වැඩ කටයුතු ගැන තමයි. දශක තුනහමාරක් විතර මම එතුමා ඇසුරු කළා. එතුමාට සම්බන්ධ සිද්දීන් තමයි මේකට ඇතුළත් වෙන්නේ“සුමනදාස පොතට ඇතුළත් වන දේ ගැන ඉගියක් ලබාදුන්නේය.

“ඔබතුමන්ලා හරිම ලස්සනට මම කාටූන්වලට අරගෙන තිබුණා. ඒ කාටූන් සේරම මම එකතු කරලා තියාගෙන ඉන්නවා“සුමනදාස කීවේ ඔවුන්ගේ  සුභපැතුම් පිළිගනිමිනි.

“අපි ඉතිං අපේ රස්සාව කරනවානේ“කාටුන් ශිල්පිහුද පැවසූහ.

“මම අර අණ්ඩදාපු ඇදුම ඇදන් ඉන්න කාටුන් වලට තමයි වැඩියෙන්ම කැමැති. ඒක වැඩි වැඩියෙන් අදින්න“සුමනදාස කාටුන් ශිල්පීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

මනූෂ සිය බිරිද සමග පැමිණ සුභ පැතුම් එක් කරන විට සුමනදාස කීවේ “ඔබතුමා මේ රටේ උත්තරීතර ආයතනය වෙන පාර්ලිමේන්තුව එක දිගට තවත් දශක ගණනාවක් නියෝජනය කරනවානේ“යැයි කියමිනි.

මේ අතර විජමු ලොකුබණ්ඩාර සුභපැතුම් එක් කරමින් අපූරු යෝජනාවක්ද කළේය.

“ඔබතුමා දැන් දේශපාලනයට එන්න“විජමු කීවේ සිනාවක්ද මුවට නංවාගනිමිනි.

“මම මහින්ද මහත්තයා එක්ක දශක තුනකට වඩා වැඩි කාලයක් වැඩ කළා. ඒත් කවදාවත් මම දේශපාලනයට එන්න ඕන කියන ඉල්ලීම නම් කළේ නෑ. මගේ තාත්තත් ඩීඑස් – ඩඩ්ලි – සර් ජෝන්ලා ළගින් ඇසුරු කරපු ප්‍රභල එක්සත් ජාතික පාක්ෂිකයෙක්. අවුරුදු තිස් හයක් ගම් සභාපති වෙලා හිටියා. ඒත් කවදාවත් මට දේශපාලනයට එන්න හිතුනේ නෑ“සුමනදාස කීවේය.

“එහෙනම් අපි අවුරුදු හැත්තෑවට පස්සේ බලමු“විජමු කීවේ එතැන සිටි අයද සිනා ගන්වමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here