මහින්දට නොකියා බස්නාහිර පොහොට්ටු මන්ත්‍රී මෙරිල් පුතාගේ මගුලට මෛත්‍රී ගෙන්නලා….

0

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි මෙරිල් පෙරේරාගේ පුතණුවන් වන ටිෂාන් පෙරේරාගේ විවාහ මංගල උත්සවය කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පසුගිය බ්‍රහස්පතින්දා පැවැත්විණි.ඔහුගේ අතගත්තේ දෙවිනුවර ඩික්සන් සිල්වාගේ මිනිබිරියක් වන හංසි පින්නදුවයි. මෙම විවාහයේ සාක්ෂිකරුවන් වූයේ හිටපු ජනපති මහින්ද සහ ජනපති මෛත්‍රි වීම විශේෂත්වයකි. මෙරිල්ගේ පාර්ශ්වයෙන් මහින්ද අස්සන් කළ අතර ඊට මෛත්‍රි සහභාගි වන බවක් මහින්ද දැන සිටියේ නැත. සාක්ෂියට අස්සන් කිරීමෙන් පසුව මෛත්‍රි සහ මහින්ද එකම මේසයක අසුන්ගෙන කතාබහ කළ අතර එම මේසයේම රංජිත් සියඹලාපිටිය, ප්‍රසන්න රණතුංග සහ ඉසුර දේවප්‍රියද අසුන් ගත්හ.

“කොහොමද මහන්සිත් ඇති නේද?” මෛත්‍රි ඇසුවේය.

“ටිකක් මහන්සියි ඒත් අපිට නම් ඕවා හොඳට පුරුදුයි. මෙයාලා නම් ඉවර වෙනකම්ම එතැන හිටියා” මහින්ද පිළිතුරු දුන්නේ ප්‍රසන්නව පෙන්වමිනි.

“හැමතැනම කුණු එහෙම දාලා තිබ්බා නේද?” ප්‍රසන්න වහා කීවේය.

“සුද්ද කරලා තිබ්බේ නැහැ. මම උදේ 10ට මඟුල් ගේක යනකොටත් කුණු තිබ්බා. නගර සභාවත් කිව්වේ සුද්ද කරලා නැහැ කියලායි” මෛත්‍රි පැවැසීය.

“ඒක නම් වෙන්න බැහැ. අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් ටික කුණු සේරම සුද්ද කරලා පාරත් අතුගාලයි ගියේ. සමහරවිට අපි ගියාට පස්සේ වෙන කවුරු හරි අපිව අල්ලන්න ගෙනැත් දැම්මාද දන්නේ නැහැ” ප්‍රසන්න කීවේය.

මං හිතන්නේ නගර සභාවේ අය නැඟිටිනවා ඇත්තේ උදේ 10ට වෙන්න ඇති. ඒකයි වෙන්න ඇත්තේ” මහින්ද ඇඟටපතට නොදැනී පිළිතුරු දුන්නේය.

අනතුරුව මහින්ද එතැනින් පිටත්ව ගිය අතර තවත් සුළු මොහොතකින් මෛත්‍රිද පිටව ගියේය. ඒ යනු දුටු ඉසුර දේවප්‍රිය “දැක්කද ඊයේ පෙළපාළි ගියාට අද දෙන්නම යන්නේ එකට. ඕක තමයි කවදා හරි වෙන්නේ. දෙන්නා එකතු වෙනවා” යැයි කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here