මලික් අනේ එපා සර්…කියද්දී ජනපති ගත් දැඩි තීන්දුව

0

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ ඔහුගේ උපදේශකයන් කිහිපදෙනකුගේ ප්‍රධානත්වයෙන් ඇතිකර තිබු ආර්ථික කළමනාකරණ කමිටුව වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ඊයේ රැස්වුනු කැබිනට් මණ්ඩලය පියවර ගනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ පෙරවරුවේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.

ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවට අගමැතිවරයා ද මීට පෙර කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව මීට පෙර එක් වතාවක් රැස්වීමද විශේෂත්වයකි.

මේ ගැනද ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුව තිබුණි.

“ජනාධිපතිතුමනි,මේක අහෝසි නොකර පවත්වාගෙන යමු”යැයි ඇමැති මලික් සමරවික්‍රම මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

“මෙච්චර කල් මේක තිබිලා මොනවත් වෙල නෑ.ඒ නිසා මේක තවත් වැඩක් නෑ” යැයි එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන බව පවසා ඇත.

ඒ අනුව ඉදිරියේදී ආර්ථිකය සංබන්ධ කාර්යන් සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ආර්ථික සභාව හරහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here