මංගල සැසියේදී හලාවත නගර සභිකයන් රඟ පෑ අමුතු නාඩගම

0

ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් අද පෙරවරුවේ රැස්වුනු හලාවත නගර සභාවේ මංගල සභා වාරය කල් තැබීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සී.ඩබ්ලිව්.ජයසිංහ මහතා පියවර ගත්තේය.

එම නගර සභාව සඳහා මෙවර පැවති පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 07 දෙනෙකුද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සභිකයින් 06 දෙනෙකු, පොදු ජන පෙරමුණ පක්ෂයෙන් සභිකයින් 06 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයෙන් 01 සභිකයෙකු තේරී පත්විය.

අද (27) පෙරවරු 8.30 ට සභාව කැඳවීම සදහා අවශ්‍ය ගැසට් නිවේදනය  සියළුම සභිකයින් වෙත පුද්ගලික දැනුම් දී ඇත.

එහෙත් සභාව කැඳවන අවස්ථාවේදී සභාව තුළ රැස්වී සිටියේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 07 දෙනා  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා පමනි.

සභාව පවත්වා ගෙන යාමට නම් 50% ක ඝන පූර්ණයක් අවශ්‍ය බව පළාත් පාලන කොමසාරිස්වරයාට පෙන්වාදීමේන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  නියෝජනය කරන සභික හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා සභාවෙන් පිටත්ව ගියේය.

ඒ සමගම සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. ඒ අවස්ථාවේ  පැමිණි සිටි පුත්තලම දිස්ත්‍රික් එජාප මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාද අදහස් දැක්වීමට පටන් ගත්තේය.

අනතුරුව මහජන ගැළරියේ සිටින අයද අදහස් දක්වන්නට පටන් ගත්තේය.ඒ අවස්ථාවේ අදහස්  දැක්වීමෙන් වැළකී සිටින

ලෙස පලාත් පාලන කොමසාරිස්වරයා විසින් ජනතාවට ප්‍රකාශ කරන ලදි.

අනතුරුව සභාව කල් තැබු අතර නැවත සභාව කැදවන දිනය දැනුම් දීමට කටයුතු කරන බව පැවසා පලාත් පාලන කොමසාරිස්වරයාද සභාවෙන් පිටත්ව ගියේය.

මේ අතර පොහොට්ටුවෙන් තේරීපත්වු සභිකයින් සභා ශාලාවෙන් පිටත රැදී සිටි අතර,  ප්‍රමාදයකට ලක් වු නිසා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ බව ඔවුන් කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ වයඹ පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතාද එම මන්ත්‍රී පිරිස අතරට වී සිටිම විශේෂත්වයක් විය.හලාවත නගර සභා භූමිය අවට ආරක්ෂව තර කර තිබුණි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here