ප්‍රසන්න සහ ලංසා විශ්වාසභංගයට විරුද්ධ වූයේ ඇයි

0

ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිතව තිබුණු විශ්වාසභංග යෝජනාව පසුගිය සතිය තුළ දේශපාලනය උණුසුම් කළ මාතෘකාවක් විය. විශ්වාසභංග යෝජනාව ගෙන එන බවට නිශ්චිතව තීන්දු කිරීමෙන් පසු ඊට මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලබා ගැනීම ඇරැඹිණි.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලබා ගැනීම පැවරුණේ ෂෙහාන් සේමසිංහටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ අත්සන් ලබාගැනීම පැවරුණේ මහින්දානන්දටය. අනෙකුත් පක්ෂවල මන්ත්‍රිවරුන්ගේ අත්සන් ලබාගැනීම ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ්ට පැවරුණි.

සිකුරාදා වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 22 දෙදෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබුණාහ. දිනේෂ්, විමල්, වාසු, උදය සහ ප්‍රසන්න ද ඒ අතර වූහ. සෙනසුරාදා අනුරාධපුරය බලා ගිය ෂෙහාන් අනුරාධපුරයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගත්තේය.

පසුදින එනම් ඉරිදා ෂෙශාන් අත්සන් ලබාගැනීමට ගියේ මහනුවරටය. ලොහාන්ගේ නිවසේ දී අත්සන් ලබාගැනීමේ කටයුතු සිදුකෙරුණි. ලොහාන් මෙන්ම කෙහෙළිය, දිලුම්, තේනුක එහිදී අත්සන් තැබූහ. මෙම අත්සන් ගැනීම සිදුවන අවස්ථාව වන විට නීතීඥවරුන් පිරිසක් ද එහි පැමිණ සිටියේ වෙනත් කටයුත්තකටය.

“ඔබතුමාලා මේ කරන වැඩේ නම් අගය කරන්න ඕනේ වැඩක්. ඇත්තටම මේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විශ්වාසභංගයකින් හෝ ගෙදර යැවීම අනිවාර්යෙන්ම කළ යුතුයි. අද ර‍ට විනාශ වෙන්න ප්‍රබලව බලපාලා තියෙන්නේ මේ අයගේ ක්‍රියාකලාපයයි. කොටින්ම මහනුවර ගැටුම පස්සෙන් හිටියෙත් මේ අයම තමයි. බාල වැඩවලින් බලය තහවුරු කරගන්න අය ගෙදර යවන එක නම් ලොකුම දෙයක්” නීතීඥවරු කීහ.

මේ අතර ෂෙහාන්ගේ ජංගම දුරකථන අංකයට විටින් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් ඇමතුම් ලැබෙන්නට වූ අතර සියලුදෙනාමට විමසා සිටියේ විශ්වාසභංගයට අත්සන් තැබිය යුත්තේ කවදාද කියාය. ඒ සියලුදෙනාට ෂෙහාන් කීවේ නිදහස් පක්ෂයේ අත්සන් තැබිෆම් කටයුතු සම්බන්ධීකරණය කරන්නේ මහින්දානන්ද මන්ත්‍රිවරයා බවය

“අපි මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්නට තීන්දු කළේ රටට උදා වෙලා තියෙන කලදසාව ගැන හිතලයි. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වයේ ඉන්න එක අපිට දේශපාලන වශයෙන් වාසි සහගත වෙන්න පුළුවන් වුණත් ඊට එහා කල්පනා කරලා තමයි මේ තීන්දුව ගත්තේ. මොකද අපිට මොන වාසියක් වුණත් වැඩක් නැහැ රනිල් හිටියොත් රටම විනාශ වෙන එක වළක්වන්න බැහැ” කෙහෙළිය පෙන්වා දුන්නේය.

සඳුදා උදෑසන කුමාර වෙල්ගමට ෂෙහාන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. ෂෙහාන් වෙල්ගමට කතා කළේ විශ්වාසභංගයට අත්සනක් ලබා ගැනිම සඳහාය. “මල්ලි මම මේ ගමනක් යන්න ලැහැස්ති වෙන ගමන්. ඒත් ගමන යකාට ගියාවේ කියලා අපි ඕකට අත්සන් කරමු” වෙල්ගම ෂෙහාන්ට කීවේය.

ඒ අනුව වෙල්ගම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබුවේ රාජගිරියේ ප්‍රසිද්ධ අවන්හලක රථ ගාලේදීය. ‍තම රියේ බොනට්ටුව මත තබා අත්සන් තැබූ වෙල්ගම තමන් අත්සන් තබන ආකාරය ඡායාරූප ගත කරන්නැයි ෂෙහාන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

 

ප්‍රසන්න සහ ලංසා විශ්වාසභංගයට විරුද්ධ වුණු හෙතුව

 

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා උදෑසන පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක හතරේදීය. ඒ දිනේෂ්ගේ ප්‍රධානත්වයෙනි. පළාත් පාලන නියෝජිතයන්ගේ දිවුරුම් දිමේ උත්සවයට සහභාගී වන්නට සිදුවීම නිසා මහින්ද පැමිණ සිටියේ නැත. එහිදී සාකච්ඡාවට ලක්වුණේ විශ්වාසභංගය ගැනය.

“මට ආරංචි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රී කෙනෙක් මේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තබන්නේ නැහැ කියලා. මම නම් කියන්නෙම අපි විශ්වාසභංග යෝජනාවක් භාර දෙනවා නම් මේ පක්ෂ දෙකේ අයත් අත්සන් කරන්න ඕනේ කියලයි. එහෙම නොවුණොත් අපේ ඉලක්කය සාර්ථක වෙන්නේ නෑ” ප්‍රසන්න ආරම්භයේදීම පැවසීය.

“විශ්වාසභංග යෝජනාව භාර දෙන්න අත්සන් කරන්න ඕනේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් විතරයි. අපිට ‍පුළුවන් මන්ත්‍රිවරුන් අත්සන් කරලා යෝජනාව භාර දීලා ඡන්දය විමසන අවස්ථාවෙදි අනෙක් අයගේ සහයෝගය ගන්න පුළුවන්” උදය පැවසීය.

“ඒ වුණත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ඇමැතිවරුනුත් මේකට අත්සන් කළොත් තමයි වඩාත්ම සාර්ථක වෙන්නේ. හදිසියේ හරි අත්සන් කරපු කෙනෙක් ඡන්දෙ නොදුන්නොත් අපිට ජනතාව ඒ අය ගැන හෙළිදරව් කරන්න පුළුවන්. අනික කවුද දන්නේ මේකත් මෛත්‍රීගේ උගුලක්ද කියලා. එයා අපි ලවා විශ්වාසභංගය ගෙනල්ලා පරදින්න වැඩ කරයිද කියලා අපි දන්නේ නැහැ. ජනාධිපතිවරයා හැමදාම කළේ රනිල්ව ආරක්ෂා කරන එක.මේ විශ්වාසභංගය අපි පැරදුණොත් ආයෙත් රනිල් ශක්තිමත් වෙන එක වළක්වන්න බැහැ” කී ප්‍රසන්න එතැනින් නික්ම ගියේ මහින්දගේ නිල නිවසෙහි පැවැති පළාත් පාලන අපේක්ෂකයන්‍ දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී වීම සඳහාය.

අනතුරුව කතාබහ ඇදගෙන ගියේ නිමල් ලන්සාය. “මම පළවෙනි රැස්වීමේ ඉඳන්ම කිව්වේ අපි කාටවත් මුක්කු ගහන්න ඕනේ නැහැ කියලයි. අපිට එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ගන්න බැරි නම් මේ විශ්වාසභංගය ඉදිරිපත් කරලා වැඩක් නැහැ. මට ආරංචි වුණා නිදහස් පක්ෂයෙන් හතරදෙනයි අත්සන් කරන්නේ කියලා. ඒ අයට අත්සන් කරන්න බැරි නම් අපි 20ක් අත්සන් කරලා මේක භාර දෙමු” ලන්සා පැවසීය.

“ඒත් අපි තීන්දුවක් ගත්තා මේ විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් අත්සන් තියන්න ඕනේ කියලා” මහින්දානන්ද පෙන්වා දුන්නේය.

“අපි අත්සන් කරමු. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අපි මේක කරන්න ඕනේ ජයග්‍රහණය කරන්න පුළුවන් විදියට මිසක් දැන දැන පරදින්න නෙමෙයි” ලන්සා පැවසීය.

“මේ තීන්දුව ගත්තේ ඒකාබද්ධයේ පක්ෂ නායකයන් එකතු වෙලයි. මට හිතෙන්නේ ඒ තීන්දුව හරියට සන්නිවේදනය නොවුණ නිසා මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලයි” මහින්දානන්ද කීවේය.

“මේකට නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ අය අත්සන් කරනවද නැද්ද කියන එක අපිට පැහැදිලිව කියන්න. අපි මේකෙන් පැරදුණොත් මැතිවරණයෙන් ලබපු ජයග්‍රහණයත් වැඩක් නැති වෙනවා” රමේෂ් පතිරණ පැවසීය.

“අපි මේක ඉදිරිපත් කරන්න ඕනේ ජයග්‍රහණය කරන්න මිසක් පරදින්න නෙමෙයි. මේක පරද්දන්න රනිල් වික්‍රමසිංහ ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා කියන එක හොඳටම විශ්වාසයි. ඒකට නිදහස් පක්ෂයේ ආශිර්වාදයත් ලැබුණොත් අපි පහළට වැටෙන එක වළක්වන්න බැහැ” කෙහෙළිය ද පැහැදිලි කළේය.

“විශ්වාසභංග යෝජනාව ගේන්නේ මෛත්‍රීපාලගේ වුවමනාවට ද එහෙමත් නැත්නම් අපේ වුවමනාවටද? වෙල්ගම ඇසුවේය.

“අපේ වුවමනාවට” මහින්දානන්ද උත්තර දුන්නේය. මේ අතර බන්දුල ගුණවර්ධන ද රැස්වීමට පැමිණියේ “මොකක්ද ඔබතුමා කියන්නේ” යැයි ලන්සාගෙන් අසමිනි. ඒ අනුව ලන්සාට සිදුවුණේ රැස්වීමේ මුල සිට තමා කළ කථාව නැවත වතාවක් බන්දුලට කියන්නටය.

“රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව ගේනවා කියලා මහින්ද මහත්තයා ඊයේ ජනතාවට කිව්වා. අපිට දැන් ඒක ඉදිරිපත් නොකර ඉන්න බැහැ” මහින්දානන්ද පැවසීය.

“ඉදිරිපත් කරන එක නෙමේ ප්‍රශ්නය. දිනන්න පුළුවන්ද කියන එකයි” ලන්සා කීවේය.

“අපි ඒ වගකීම ගන්නවා. ඔබතුමා මේකට අත්සන් කරන්න” මහින්දානන්ද පැවසීය. ඒ අනුව එකඟතාවකට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රීවරු විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ. විශ්වාසභංග යෝජනාව භාර දීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පක්ෂ නායකවරුන්ගේ හමුවේදී ගැනීමට තීන්දු කෙරිණි.

මේ අතර ප්‍රසන්නට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබුණේ ප්‍රසන්න විශ්වාසභංගයට විරුද්ධ බව දුමින්ද දිසානායක තේනුක විදානගමගේට කියා ඇති බවය. ප්‍රසන්න හැරෙන තැපෑලෙන්ම දුමින්දට ඇමතුමක් ගත්තට දුමින්ද පිළිතුරු දුන්නේ නැත. පසුව දුමින්ද ප්‍රසන්නට කතා කළේය.

“අයියා කෝල් කරලා තිබුණා” දුමින්ද පැවසීය.

” ආ ඔව්. මල්ලි ඔයා තේනුක එක්ක කියලා තියෙනවා මං විශ්වාසභංග යෝජනාවට විරුද්ධයි කියලා. ඔය වගේ බොරු කතා කියන්න එපා. එහෙම වුණාම එයාලත් විශ්වාසභංගයට අත්සන් කරන්න අදිමදි කරනවා. මං විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගේනවට නෙමෙයි. මම කිව්වේ ගේනවා නම් එක්සත් ජාතික පක්ෂයෙයි නිදහස් පක්ෂයෙයි අයත් අත්සන් කරන්න ඕනේ කියලයි. අද කරන්න පුළුවන් ලොකුම පිංකම තමයි රනිල්ව අගමැතිකමෙන් එලවලා දාන එක. මට අගමැති එක්ක විතරක් නෙමෙයි ජනාධිපති එක්කත් ප්‍රශ්න තියෙනවා” ප්‍රසන්න පැවසීය.

“මට‍ නම් ප්‍රශ්නය තියෙන්නේ මහින්ද එක්ක” දුමින්ද කීවේය.

“ඒවා මල්ලි පුද්ගලික ප්‍රශ්නනේ. මට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. මේ රටට විරුද්ධව වැඩ කරන ඕනෙම කෙනෙක් එක්ක හැප්පෙන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. නිදහස් පක්ෂය රට විනාශ කරන අයත් එක්ක එකට එකතු වෙන එකට පාක්ෂිකයෝ කැමැති නැහැ. ඒක පක්ෂයටත් ප්‍රශ්නයක්” කී ප්‍රසන්න දුරකථනය විසන්ධි කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුව මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේ දී රැස් වූ අතර එහිදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හතරදෙනෙක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කරලා තියෙනවා. ඉතිරි අයයි එක්සත් ජාතික පක්ෂයේ අයයි ඡන්ද විමසීම තියෙන ද‍වසේ අපිට සහයෝගය දෙන්න පොරොන්දු වෙලා තියෙනවා” මහින්දානන්ද පැවසීය.

“එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 22ක් අපිට විවාදය දවසේ සහයෝගය දෙනවා” උදය පැවසීය.

“ඔයාලා එයාලත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්න. ඉතිහාසයේ ප්‍රථම වතාවටයි අගමැති විශ්වාසභංග යොජනාවකින් අගමැති පරදින්න යන්නේ. ඒ හින්දා ජයග්‍රහණය සඳහා අවශ්‍ය දේවල් කරන්න. අපි මුලින් තීන්දු කලේ අනෙක් පක්ෂවලට අයත් අත්සන් තියන්න ඕනේ කියලා. නමුත් දැන් ඒක වෙනස් වෙලා තියෙන හින්දා ඔහොම කරගෙන යමු. කොහොම හරි අපි මේක ජයග්‍රහණය කරන්න ඕනේ” මහින්ද පැහැදිලි කළේය.

පසුදා මහින්දට ඩී. වී චානක ද කැටුව පාර්ලිමේන්තු භෝජනාගාරය දෙ‍සට යමින් සිටිය දී අතුරලියේ රතන හිමි මුණගැසුණේය. මහින්දගේ ඉඟිය අනුව ඩී. වී එතැනින් මඳක් එහාට ගිය අතර මහින්ද සහ රතන හිමි අතර මිනිත්තු දහයක පමණ කතාබහක් පැවැතුණි. එතැනින් එහාට මෙහාට යන්නට ආ කිසිවකුටත් නොදැනෙන්නට සාකච්ඡාව පැවැත්වීමට දෙදෙනාම වගබලා ගත්හ.

විශ්වාසභංග යෝජනාව භාර දීම සඳහා කතානායකවරයා විසින් ඒකාබද්ධ විපක්ෂයට ලබා දී තිබුණු වෙලාව යෙදී තිබුණේ සවස දෙකටය. මහින්ද පෙරටු කරගත් ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු කතානායකවරයාගේ කාර්යාලයට ගියහ.

මහින්ද කතානායක වෙත විශ්වාසභංග යොජනාව භාර දෙන ගමන් “මෙන්න විශ්වාසභංග යොජනාව. පුළුවන් තරම් ඉක්මනට මේක විවාදයට අරගෙන ඉවර කරමු. සමහරවිට මෙකෙන් ඔබතුමාටත් වාසියක් වෙන්න පුළුවන්” යැයි කීවේය.

කතානායකවරයා විශ්වාසභංගය භාර ගැනීමෙන් අනතුරුව මහින්ද “සභානායකවරයා අන්තිම නරක විදියට පාර්ලිමේන්තු‍ වරප්‍රසාදවලට මුවා වෙලා නීතීඥවරුන්ට බැන වැදුණා. ඔබතුමා මේවා පාලනය කරන්න ඕනේ. එහෙම නොවුණොත් ඒක පාර්ලිමේන්තුවට හොඳ නැහැ” යැයි කීවේය.

“සභානායක විතරක් නෙමෙයි රන්ජනුත් බැන්නානේ” මහින්දානන්ද පෙන්වා දුන්නේය.

“මේක නරක පූර්වාදර්ශයක් වෙයි” කී මෙහින්ද ” විශ්වාසභංග යෝජනාව පුළුවන් තරම් ඉක්මණට විවාදයට ගන්න” යළිත් කීවේය.

“අපි පුළුවන් තරම් ඉක්මණට මේක ගන්නම්” කතානායකවරයා පොරොන්දු විය. ඒකාබද්ධ විපක්ෂයේ සෑහෙන පිරිසක් පැමිණ සිටින බව දුටු කතානායකවරයා “ඔයාලා සේරම ඇවිත් නේද? යැයි ඇසුවේය.

“මේ ඇවිත් ඉන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අපේ අය විතරයි. අපිට උදව් කරන නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු ටික එදාට බලාගන්න පුළුවන්” පියල් නිශාන්ත කියත්ම මහින්ද ඇතුළු පිරිස කොක් හඬ ලා සිනාසුණහ.

ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා පසුගිය දිනවල සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරගතවය. බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු ආ රණවීර ලොබියේ දී ෂෙහාන්ගෙන් ඇසුවේ “කෝ ලියවිල්ල? මට ඒකට අත්සන් තියන්න ඕනේ” කියාය. ඒ වන විටත් භාරදීමට ගෙනයමින් තිබුණු විශ්වාසභංගයට රණවීර අත්සන් තැබුවේ අන්තිමයාටය.

එදින සවස රණවිරට අමුත්තෙක් හමුවිය. ඒ සනත් නිශාන්තය. සනත් නිශාන්ත මේ දිනවල සිටින්නේද රිමාන්ඩ් බන්ධනාගාරගතවය.  සනත් දුටු රණවීර ඔහු වැළඳ ගනිමින් ඇසුවේ “කොහොමද මචෝ ආණ්ඩුවේ බෝඩිමේ කෑම රසයිද? කියාය.

“වරදක් නැහැ බං. කොහොමත් ආණ්ඩුව අපි බෝඩිමේ කෑම කවන්න කැමැතියිනේ. හැබැයි ඕවා කරලා නම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here