පළාත් පාලන ආයතනවල බලය පොහොට්ටුවට ගන්න දියත් කල රහසිගත මෙහෙයුම කාගේද?

0

අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංගය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ සැවොම පසුගිය සතිය සිටියේ කාර්යබහුලවය. ඒ කාර්යබහුලත්වය මැද වුව ද ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ට තවත් සටනක් කරන්නට සිදුව තිබුණේ පසුගිය මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහාය.

ඩලස්, මහින්දානන්ද ඇතුළු පිරිස විශ්වාසභංගය ජයගැනීම සඳහා වෙහෙසෙමින් සිටින අතරතුර මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුක්තව බැසිල්, ප්‍රසන්න ඇතුළු කණ්ඩායමක් පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළහ. මැතිවරණයේ දී කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොලැබුණු ආයතන 71ක් සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.

බහුතර බලයක් නොමැති සභාවල බලය ඇල්ලීමේ වැඩපිළිවෙළේ දී තීන්දු තීරණ ගැනීමේ බලය බැසිල් විසින් පවරා දෙනු ලැබ තිබුණේ පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් නායකයන්ටය. පළාත් පාලන නියෝජිතයන් අතර නොහොඳ නෝක්කාඩු නිසා ඇතිවිය හැකි ගැටුම් නිරාකරණය කර බලය ඇල්ලීම සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් නායකයන්ගේ වගකීම විය.

බහුතර බලයක් නොමැති සභා සඳහා පළාත් පාලන ආයතන පනතට අනුව ඡන්ද විමසීම් මඟින් සභාපති, උප සභාපති හෝ නගරාධිපති, උප නගරාධිපති තනතුරු තෝරා ගැනීමට නියමිතව තිබුණි. ප්‍රථම වටය ලෙස 23 වැනි දා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මහ නගර සභාව, මිනුවන්ගොඩ සහ කටුනායක සීදුව නගර සභා සහ කටාන ප්‍රාදේශීය සභා සඳහා ඡන්ද විමසීම් පැවැත්විණි.

එහිදී මිනුවන්ගොඩ නගර සභාව ජයග්‍රහණය කිරීමේ කටයුතු ප්‍රසන්න කරට ගෙන සිටි අතර අනෙකුත් ආයතන තුනෙහි වගකීම පැවරී තිබුණේ නිමල් ලන්සා, ඉන්දික අනුරුද්ධ සහ සරත් කුමාර ගුණරත්න වෙතය. ඔවුන් තිදෙනා එක්ව එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් තිබුණු මීගමුව මහනගර සභාවේ බලය ලබා ගැනීමට සමත් වූහ.

මිනුවන්ගොඩ නගර සභාවේ බලය ලබාගැනීම සඳහා කුමන පක්ෂයකට සහාය දුන්නත් පොහොට්ටුවට සහාය නොදෙන ලෙස නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායකවරයා එම පක්ෂයේ මන්ත්‍රිවරුන්ට දැඩිව අවවාද කර තිබුණු නමුත් ප්‍රසන්නගේ මැදිහත් වීම මත මිනුවන්ගොඩ නගර සභාවේ බලය පොදුජන පෙරමුණ සතු විය.

මේ අතර ලන්සාට දුරකථන ඇමතුමක් ලැබුණේ බැසිල්ගෙනි. කටාන ප්‍රාදේශීය සභාවේ ප්‍රශ්නයක් ඇති නිසා වහාම එතැනට යන්නැයි බැසිල් උපදෙස් දුන්නේය. ඒ අනුව එහි ගිය ලන්සා එම ප්‍රාදේශීය සභාවේ බලය ලබා ගැනීමට මැදිහත් විය. එහෙත් පොදුජන පෙරමුණට වැඩි වාසියක් තිබුණු කටුනායක සීදුව නගර සභාවේ බලය මන්ත්‍රිවරුන්ගේ අභ්‍යන්තර ගැටුමක් නිසා එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.

පළමු වටයේ මෙහෙයුම සාර්ථකව අවසන් විමත් සමඟ පොදුජන පෙරමුණේ නායකයන් දෙවැනි වටය සඳහා සැරසුණේ වැඩි උනන්දුවකිනි. ඒ අනුව මහින්ද ඉරිදා උදෑසන ප්‍රසන්නට දුරකථන ඇමතුමක් ගෙන කීවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ආයතන කිහිපයක ගැටලු පැන නැගී ඇති බැවින් එහි ගොස් අවශ්‍ය කටයුතු සොයා බලා එම ආයතනවල බලය ලබාගැනීමට කටයුතු කරන ලෙසය.

ඒ අනුව ප්‍රසන්න ප්‍රථමයෙන් අරණායක ප්‍රාදේශීය සභාවේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලුවේය. ප්‍රසන්න එහි යන විට ගාමිණි ලොකුගේ ද පැමිණ සිටියේය. ප්‍රසන්න ලොකුගේ ද කැටුව මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් ගැටලුව විසඳා ගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර ලොකුගේට බැසිල්ගෙන් ඇමතුමක් ලැබුණි.

“මොකද මන්ත්‍රීතුමා දැන් තත්ත්වය? බැසිල් ඇසුවේය.

“අපි සාකච්ඡා කරගෙන යනවා. අපිට මේක විසඳගන්න පුළුවන්. දැන් ප්‍රසන්න මන්ත්‍රීතුමත් ආවා” ලොකුගේ කීවේය.

“ආ ප්‍රසන්න ආවද? එහෙනම් ප්‍රශ්නයක් නැහැ. එයා කොහොම හරි ඕක දිනලා තමයි පස්ස බලන්නේ” බැසිල් කීවේ මහත් විශ්වාසයකිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් ද පසුගිය සතියේ සෑමකෙනකුගේම අවධානය යොමුව තිබුණේ එහි සභාපතිවරයා තෝරා ගැනිමට ද ඡන්දයක් පැවැත්වීමට නියමිතව තිබුණු නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකවරිය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කටයුතු කිරීම නිසා මෙම විශේෂ උනන්දුව ඇතිව තිබුණි.

බදාදා උදෑසනම ප්‍රසන්න අත්තනගල්ල බලා ගියේ ප්‍රාදේශීය සභාවේ බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීම පිණිසය. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට නුදුරු විහාරස්ථානයකට ගිය ප්‍රසන්න සභාවේ සියලු මන්ත්‍රිවරුන් ද එහි

කැඳවාගෙන බලය ඇල්ලීමේ මෙහෙයුම ක්‍රියාවට නැංවීය. එහි සභාපතිවරයා සම්බන්ධයෙන් ගැටලුවක් නොතිබුනු අතර බෙදීමක් තිබුණේ උප සභාපති ධුරය සම්බන්ධයෙනි. ඒ අනුව ප්‍රසන්න මන්ත්‍රීවරුන් සියලු දෙනා කැඳවා උප සභාපති ධුරයට රහස් ඡන්දයක් පැවැත්වීය. ප්‍රසන්න බදාදා ගියේ කිසිවකුටත් හෙළි නොකළ එම රහස් ඡන්දයේ ප්‍රතිඵලත් රැගෙනය.

මන්ත්‍රීවරුන් ප්‍රසන්නට කීවේ අත්තනගල්ල දිනාගැනීම සඳහා චන්ද්‍රිකා මහත් ආයාසයක් දරමින් සිටින බවය.

“අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය යන්නේ කාටද කියන එක ගැන අද මුළු රටම බලන් ඉන්නවා. මුළු රටේම ආයතන දිනනවාටත් වඩා අපිට අත්තනගල්ල දිනා ගන්න එක වැදගත්. ඒ හින්දා තමුන්නාන්සේලාගේ පෞද්ගලික ප්‍රහ්න මේවාට ඈඳා ගන්න එපා. එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාව දිනාගන්න කටයුතු කරමු. පක්ෂයේ තීන්දුව තමයි අවසන් තීන්දුව. කවුරුත් ඒකට උඩින් යන්න හිතන්න එපා” ප්‍රසන්න මන්ත්‍රිවරුන් අමතමින් කීවේය.

ඒ අතරතුර ප්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. “කොහොමද ප්‍රසන්න තත්ත්වය? මහින්ද ඇසුවේය. “හොඳයි සර්. අපිට දිනන්න පුළුවන්” ප්‍රසන්න උත්තර දුන්නේය. “එහෙනම් කමක් නැහැ. මම ඔයාලට සුබපතනවා” කී මහින්ද ප්‍රසන්නගේ දුරකථනයේ ලවුඩ් ස්පීකර් පහසුකම ක්‍රියාත්මක කරන ලෙස දන්නවා අත්තනගල්ලට තේරී පත්ව සිටි මන්ත්‍රිවරුන්ට සුබපැතුවේය.

“ඔයාලා අතර බෙදීම් තියාගන්න එපා. කොහොම හරි එකතු වෙලා මේ ප්‍රාදේශීය සභාව දිනාගන්න බලන්න. පහුගිය කාලයේ අත්තනගල්ලට වෙච්ච දේවල් අපි දන්නවා. අපි බෙදුණොත් පරාදයි. ඒ හින්දා එකමුතුකම රැකගෙන මේ ගමන ඉදිරියටම යමු. ඔයාලට සුබ අනාගතයක්” මහින්ද මන්ත්‍රිවරුන්ට සුබපතමින් කීවේය. අනතුරුව බැසිල් ද දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසන්නගෙන් තත්ත්වය විමසා සිටියේය.

“ප්‍රසන්න ඉන්න හින්දා අපිට බයවෙන්න දෙයක් නැහැ” යැයි කී බැසිල් මන්ත්‍රීවරුන්ට ද සුබපතන්නට අමතක කළේ නැත. අනතුරුව මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙමින් “ප්‍රසන්න මන්ත්‍රිතුමාට තමයි අපි මේක භාර දීලා තියෙන්නේ. එතුමා ගන්න තීන්දුව තමයි අන්තිම තීන්දුව. ඒ හින්දා එතුමා කියන විදියට කටයුතු කරලා කොහොම හරි අපිට මේ සභාවේ ජයග්‍රහණය අරගෙන දෙන්න” කියාය. සභාවේ ඡන්දය පැවැත්වීමට පැය භාගයක් තිබිය දී ආරම්භ කෙරුණු සාකච්ඡාව අවසානයේ දී මන්ත්‍රිවරු එකඟතාවකට පැමිණ සිටියහ. මන්ත්‍රිවරුන් සභාවට යාමට පෙර සභාපති අපේක්ෂකයා කැඳ වූ ප්‍රසන්න සියලුදෙනාම ඉදිරියේ කොළයක් ලබා දුන්නේය. එහි සඳහන්ව තිබුණේ කලින් දිනක පැවැත් වූ රහස් ඡන්දයෙන් තේරී පත් වූ උපසභාපති ධූරයට පත් කිරීමට නියමිත අපේක්ෂකයාගේ නමය.

හොඳින් නවා තිබුණු කොළය සභාපති අපේක්ෂකයාගේ අතට දුන් ප්‍රසන්න ඔහු උපදෙස් දුන්නේ සභාපතිවරයා තේරී පත්වීමෙන් පසුව පමනක් කොළය දිගහැර බැලිය යුතු බවටය. සභාපතිවරයා එම උපදෙස් අනුව කටයුතු කළ අතර සභාපති උපසභාපති ධූර දෙකම දිනා ගනිමින් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය පොදුජන පෙරමුණ විසින් තහවුරු කර ගත්තේ බැසිල්ගේ අනාවැකිය ටක්කෙටම ඔප්පු කරමිනි.

මේ අතරතුර මොහාන් ද සිල්වා සහ රමේෂ් පතිරණ නායකත්වය දුන් ගාල්ල මහ නගර සභාව, ජනක බණ්ඩාර මෙහෙය වූ දඹුල්ල මහනගර සභාව ඇතුළු ප්‍රධාන පෙළේ ආයතන බහුතරයක බලය තහවුරු කරගන්නට පොදුජන පෙරමුණ සමත් වීම පසුගිය සතියේ වැඩි කතාබහට ලක් වූ කරුණක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here