නිදහස් පක්ෂය එළවා අපි ආණ්ඩුවක් හදමු එජාප මන්ත්‍රීවරුන් අගමැතිගෙන් කල ඉල්ලීම

0

පලාත් පාලන මැතිවරණයේදී එජාපය මෙන්ම ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිපයද පසුබෑමට ලක්වී පොදුජන පෙරමුණ බහුතර පලාත් පාලන ආයතන ජය ගත්තේය. එහෙත් එම ප්‍රතිඵලයේ පදනම 2015 ජනාධිපතිවරණය හා සසැදීමේදී රාජපක්ෂ පිලට ඡන්ද ලක්ෂ 09 ක් අඩුවී ඇති අතර ප්‍රතිපක්ෂයට එදා ලැබුණු ඡන්ද පදනම ඒ ලෙසට රැකී තිබේ.

එසේම මෙවර ඡන්ද පදනම පාර්ලිමේන්තු මන්ත්‍රීධූර සංඛ්‍යාවට අන්යුක්ත කිරීමේදී පොදුජන පෙරමුණට 90 ක් එජාපයට 70ක් හා එජනිසයට 30කට ආසන්නව ලැබී තිබේ. “එජනිස නොමැතිව අනාගතයේදී කිසිදු පක්ෂයකට ආණ්ඩු පිහිටවන්න බෑ. ජනපතිවරයා ලගදී කීවේ එවැන්නකි”

මැතිවරණ පසුබෑම තුල ශ්‍රීලනිප බලපෑමෙන් අගමැති රනිල් ඉවත් කිරීමට මෙහෙයුමක් දියත් වූවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුල අගමැති ඉවත් කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය විය.අනතුරුව එජාප පාර්ශවයෙන් පැමිණි විශ්වාස භංග කතාව කරගහගෙන ගියේ ඒකාබද්ධ විපක්ෂයය. ඒකාබද්ධයේ හා ශ්‍රිලනිප අත්සන් 55 ක් සහිත විශ්වාසභංගය කතානායකට බාර වූයේ ඒ සදහා එජාපයේද බහුතර සහය ලැබෙනු ඇත යන විශ්වාසය තුල වූවද “ එජාප ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම විනා අගමැති ඉවත් කර ආණ්ඩුව අර්බුදයට යැවීම තම අරමුණ නොවන බව ” එජාප බහුතරයකගේ ස්ථාවරය වේ. ඒ තුල විශ්වාස භංගය පහසුවෙන් ජය ගැනීමට සිතා සිටි ඒකාබද්ධයේ අරමුණ දැඩි අභියෝගයකට ලක්ව තිබේ. තවද මෙහිදී ශ්‍රීලනිප අභ්‍යන්තර අරගලයක්ද නිර්මාණය වී තිබේ. විශ්වාස භංගයට පක්ෂ හා විපක්ෂව ශ්‍රීලනිපය තුල පැහැදිලි බෙදීමක් පවතින නිසා එම බෙදීම රටට නොපෙනෙන ලෙස සගවා ගැනීමට ඔවුන් දැඩි වෙහෙසක් ගන්නා බවද පෙනේ.මුස්ලිම් හා දෙමල සුළු පක්ෂවල අවසන් තීන්දුව තීරණාත්මක වූවද ඔවුන්ගේ අවසන් තීන්දුව එලි දකිනු ඇත්තේ අවසන් හෝරාවේ බව කියවේ. එහෙත් ජවිපෙ ඍජුවම විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවද දෙමල සන්ධානය ඊට විපක්ෂව ඡන්දය ලබාදෙන බව මේ වන විට ඉගි කොට තිබේ.

“මහනුවර අධිවේගයේ තුන්වැනි අදියර නුසුදුසු සමාගමකට දීලා. මම එය අනුමත කරන්නේ නැහැ. ” ජනපති පසුගිය කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කලේ හිටපු මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ල දෙස අවධානය යොමු කරවමිනි.

“අපි දුන්නේ ජපානයේ ඉතාම සුදුසු සමාගමකටයි. ඒ සමාගම කුඩා සබ් කොන්තරත්තුවක් වෙනත් සමාගමකට දීල තියනවා. එහෙම නැතුව අපි ටෙන්ඩරය දුන් සමාගම නුසුදුසුයි කීම වැරදියි. මම සියලු විස්තර සති 02ක් තුළ ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. අපි දීපු සමාගම නුසුදුසුයි නම් ඔබතුමා තීන්දුවක් ගන්න” ලක්ෂ්මන් කිරිඇල්ල කළ පැහැදිලි කිරීම ජනපතිගේද විශේෂ අවධානයට යොමුවිය.

විශ්වාසභංගය ලබන 04දා පාර්ලිමේන්තුවේදී විවාද කිරීම හා ඡන්ද විමසීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් කතානායක කරූගේ මූලිකත්යෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.

“තිලංග නියෝජ්‍ය කතානායකතුමා ඔබ එස්.බී. තියපු ශ්‍රීලනිප ප්‍රවෘත්ති සාකච්ඡාවට එකතුවෙලා විශ්වාසභංගය ගැන අගමැතිට විරුද්ධව කතා කළා. අගමැතිට විරුද්ධව එස්.බී. කී සියලු දේ ඔබ අනුමත කළා. නියෝජ්‍ය කතානායක ලෙස ඔබ තනතුරේ ගෞරවය හා පාර්ලිමේන්තු සම්ප්‍රධාය හෑල්ලු කළා. එහෙම පහත් වැඩ කරන්න එපා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ගෝරනාඩු කලේය.

“ශ්‍රීලනිප කෙනෙක් නිසයි මම ඒකට ගියේ. තනතුරු දැරුවත් මම ශ්‍රීලනිපය නියෝජනය කරන්නේ” තිලංග සුමතිපාල උත්තර බැන්දේය.

“එහෙම කරන්න බෑ. කරු කතානායකතුමා ඒ තනතුර බාරගත්තට පසු එජාප රැස්වීම්, ප්‍රවෘත්ති සාකච්ඡා තියා සිරිකොතටවත් එන්නේ නෑ. ඒ ගෞරවනීය ආදර්ශය ඔබ ඉගෙනගන්න” කිරිඇල්ල යලිත් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

“මම නියෝජ්‍ය කතානායක නම් ඔය ප්‍රවෘත්ති සාකච්ඡාවට යන්නේ නෑ” කතානායක කරූද කීවේය.

උණුසුම් වාද විවාද මැද නිමාවූ පක්ෂ නායක රැස්වීමේදී “නම” කතාකොට විශ්වාසභංගයට ඡන්ද විමසීමටද පක්ෂ නායකයන් තීන්දු කළහ.

විශ්වාසභංග ඉදිරිපත්වී තිබුණද අගමැතිවරයා සිටිනුයේ ඉතා සැහැල්ලුවෙනි. යොදාගත් සියලු උත්සව වලටද ඔහු එක්විය. දකුණු ආසියානු වානිජ මණ්ඩල සමුළුව හා උතුරේ ගුරුවරුන්ගේ සමුළුව ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේය.

“ඔබතුමා අඩියක් පිටුපසට ගන්න” බොහෝ දෙනෙකු එසේ කියද්දී විශ්වාසභංගය ජයගැනීමේ මෙහෙයුමද අගමැතිවරයා දියත්කළේය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ අගමැතිවරයා සිරිකොත ගියේ විශේෂ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමටය.

එහිදී ආණ්ඩුව පෙරලා බලය ඩැහැගැනීමේ විපක්ෂ හා ආණ්ඩුව තුළම සිටිනා සුළු පිරිසකගේ මෙහෙයවීම පරදවා විශ්වාසභංගය පරාජය කිරීමට අදාළ යෝජනාවක් සම්මත වූයේ කාගේත් එකඟත්වය තුලිනි.

“ආණ්ඩුව පරද්දන්න එජාපයේ කවුරුවත් ක්‍රියා කරන්නෙ නැහැ. ඒත් විශ්වාසභංගය පැරදවූ දිනට පසුදිනම එජාප ප්‍රතිසංස්කරණ වහාම සිදුකළ යුතුයි. ඒ ගැන ප්‍රතිඥාවක් අවශයි. නැතිනම් අපටත් තීන්දුවක් ගන්න වෙනවා. ඒ මතයේ එජාප හුඟ දෙනෙක් ඉන්නවා” සුජීව සේනසිංහ මෙන්ම රංගබණ්ඩාරද කීවේ එකම කතාවකි.

“04 දා විශ්වාසභංගය දිනලා 05, 07 හා 08 දිනවල අවශ්‍ය ප්‍රතිසංවිධාන කරනවා. ඊට අදාලව කැදවූ වාර්තා මම මහලේකම් කබීර්ට බාර දෙනවා” යයි කී අගමැතිවරයා අදාළ වාර්තා කබීර් අතට පත්කළේය. කෘත්‍යාධිකාරී රැස්වීම පැයකට වඩා ඇදුනද කිසිවෙකු මතභේදාත්මකව කතා කිරීම හෝ ක්‍රියා නොකිරීම කැපී පෙණින. රැස්වීමෙන් අනතුරුව අගමැති හා මැති ඇමතිවරු තේ පානය කරන ගමන්ද අදහස් හුවමාරු කර ගත්තේ අගමැතිවරයා මැදි කරගන්වමිනි.

“විශ්වාසභංගයට මුහුණදීමට එජාපය සූදානම් අගමැතිතුමාගේ සැහැල්ලු හැසිරීම ඉතා හොඳ ලක්ෂණයක්” ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට සියලු දෙනා එය අනුමත කළහ.

“ශ්‍රීලනිපය මෙතනදී මොකක්ද කරන්නෙ කියල තාම නිසි තීන්දුවකට ඇවිත් නෑ” දයා ගමගේ ඇසුවේ අගමැතිගෙනි.

“මම දන්නේ නෑ එයාල මොනවා කරාවිද කියලා. ජනාධිපතිතුමා තමයි තීන්දුව ගත යුත්තේ.” අගමැති කීවේය.

“ ආණ්ඩුවට එරෙහිව පැමිණි මේ විශ්වාසභංගයට පක්ෂව ශ්‍රීලනිපය ඡන්දය දුන්නොත් ඔවුන් නැතුව අපි ඉදිරියට යමු. එහෙම වුනොත් ජනාධිපතිතුමාත් තනිවෙලා ලොකු පීඩනයකට ලක්වෙනවා. ඒත් ඒ භයානකකම ගැන එතුමාට හරි වැටහීමක් වටේ අය ලබා දෙන්නේ නෑ.ඉතා අඥාණ ගේම් එකක් එයාල මේ ගහන්නේ. ” මැති ඇමතිවරු කීප දෙනෙකු කීවේ එවැනි අදහසකි.

“ අගමැතිතුමාගේ යටතේ තිබුණු විෂයයන් කීපයක් ජනාධිපතිතුමා වෙනස් කරල නේද? ” වජිර අබේවර්ධන විමසීය.

“ එජාපය සතු විෂයයන් එජාපය ඇතුලෙමයි වෙනස් කරල තියෙන්නේ. සමහර ඒවා කල යුතු බවට අපි නිර්දේශ කලා . ” අගමැති කීය.

“ ඒත් නිර්දේශ නොකල ඇතැම් විෂයනුත් එහා මෙහා කරලා තව ප්‍රශ්නයක් හදල නේද . එජාප විෂයයන් එජාප ඇමතිවරු අතරේ  වෙනස් කලත් එජාප එකගතාවෙන් ඒක නොකිරීම ගැටලුවක් නේද ” එහි සිටි බදුලු දිසා මන්ත්‍රී චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කලහ.

“ ඔව්. අපේ විෂයයන් ගැන තීන්දු ගත යුත්තේ අපිමයි. ” පී හැරිසන් කීය.

“මුලින් 04 දා විශ්වාසභංග කඩුල්ල පනිමු. ශ්‍රීලනිපය මේකට විරුද්ධ වෙලාත් අපි මේක දිනුවාම අගමැතිතුමා හා ආණ්ඩුව තව ශක්තිමත් වේවි. ” කිරිඇල්ල කීය.

“ වසන්ත සේනානායකගේ දැන් අදහස මොකක්ද දන්නේ නෑ නේද” එජාප නීති නිලධාරියෙක් ඇසුවේය. “ මම දන්න තරමට බහුතර මතයට ගරු කරලා එතන හිට ගැනීම ඔහුගේ පිලිවෙත බව ආරංචියි. ” එම නිලධාරියා වැඩි දුරටත් කීය.

“මුස්ලිම් පක්ෂ වල අලුත්ම මතය මොකක්ද ? ඔවුන් පරිස්සමින් හැඩ්ල් කල යුතු අයයි ” දයා ගමගේ කීවේය.

“ දැනට ප්‍රශ්නයක් නෑ.අද දවස එජාපෙ සියලු පක්ෂ නායකයන් මම හමුවෙනවා. ” අගමැති කීවේය.

“ ශ්‍රීලනිපය විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්නොත් හෝ ඡන්දය වර්ජනය කලොත් ඒ අයට ආණ්ඩුවෙන් පිටවෙන්න වෙනවා.අපට විකල්පයක් බලන්න වෙනවා. එහෙම වුණොත් තනි ආණ්ඩුවකට අපව තල්ලු කලේ ඔවුන් බව ජනතාව තේරුම් ගනීවි. ” මැති ඇමතිවරු කිහිප දෙනෙකු කී විට අගමැතිවරයා නලළ රැලි ගන්වා ඉතා සැහැල්ලුවෙන් ඉවත බලාගත්තේ මද සිනහවක්ද සමගිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here