නිකවැරටිය සංවිධායක අගමැතිට කුරහන් පිට්ටු කැවු හැටි

0

අගමැති රනිල් පසුගිය සතියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා එක්විය. පසුගිය සෙනසුරාදා පෙරවරුවේ අගමැතිවරයා ගොකරැල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමට එක්විය. මේ අවස්ථාවට ඇමැති අකිල, රාජ්‍ය ඇමැති අලවතුවල, නියෝජ්‍ය ඇමැති නලීන්, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර සහ හිරියාල සංවිධායක ජගත් මංජුල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. නව පොලිස් ස්ථානය විවෘත කිරීමෙන් පසු අගමැතිවරයා ඇතුළු පිරිස ගියේ බතලගොඩ වී පර්යේෂණ ආයතනයටය. එහිදී ජගත් මංජුල විසින් අගමැතිවරයාට විශේෂ දිවා ආහාරයක් සූදානම් කර තිබිණි. කොස්, පොලොස්, අඟුණකොළ සලාද ඇතුළු ගමේ කෑම වේලකින් එය සමන්විත විය. අකිල, නලීන්, අලවතුවල සහ තුෂාර ද අගමැතිවරයා සමඟ එහි දිවා ආහාරය ගත්හ.

අනතුරුව අගමැතිවරයා ඇතුළු පිරිස පැමිණියේ වාරියපොළ නව පොලිස් ස්ථානය විවෘත කිරීමටය. එය විවෘත කිරීමෙන් පසුව වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීම සඳහා ද අගමැතිවරයා එක්විය. එම කටයුතු අවසන් කිරීමෙන් පසුව දඹුල්ල බලා පිටත්වූ අගමැතිවරයා එදින දඹුල්ලේ නවාතැන් ගත් අතර පසුදින පෙරවරුවේ නිකවැරටිය ප්‍රදේශයේ ආරම්භ වූ ගම්පෙරළිය‍ෙ වැඩසටහනනේ පළමු අදියර සඳහා එක්විය.

එහිදී අගමැතිවරයා කීවේ ගම්පෙරළිය වැඩසටහන හරහා දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම ලක්ෂ 2000ක ප්‍රතිපාදන ලැබෙන බවත් ඒ තුළින් අදාළ ගම්මානවල පවතින අඩුපාඩු රැසක් සඳහා විසඳුම් ලැබෙන බවද අගමැතිවරයා මෙහිදී කීවේය.

එම උත්සව කටයුතු අවසන් කිරීමෙන් පසුව නිකවැරටිය එජාප සංවිධායක එච්.බී, තෙන්නකෝන්ගේ නිවෙසේ අගමැති ඇතුළු ආරාධිතයන් වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කර තිබිණි. දේශීය ආහාරවලට මුල්තැනක් දෙමින් සැකසුණු මෙහි කුරහන් පිට්ටු, වැව් මාළු සහ මුං හෝද්දක්ද තිබිණි. එය දුටු විගස අගමැතිවරයාගේ හිත ගියේ කුරහන් පිට්ටු දෙසටය. කුරහන් පිට්ටු සමඟ මුං හොදි යහමින් බෙදාගත් අගමැතිවරයා එය රසබලද්දී සෙසු මැති ඇමැතිවරුන්ටද ඒ දෙස නොබලා බැරිවිය. පසුව ඔවුන් බොහෝ දෙනකු බත් සහ වෑංජන සමඟ කුරහන් පිට්ටුද බෙදාගෙන රස බැලුවෝය.

දිවා ආහාරයෙන් පසු මඳ වේලාවක් ආගිය තොරතුරු කතාබහ කරමින් කාලය ගත කළ අගමැතිවරයා පසුව ගිරිඋල්ල බෝපිටිය විහාරස්ථානයට ගියේය. එම විහාරස්ථානය රජමහ විහාරයක් බවට පත්කිරීමේ උත්සවය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එහිදී උත්සව සභාව ඇමතූ අගමැතිවරයා, දඹදෙණිය රාජධානිය ගැන අපූරු ඉතිහාස කතාවක් කීවේ කාගෙත් අවධානය යොමුකරමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here