නඩුවලට බලපෑම්කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් ගැන අගමැතිට පැමිණිල්ලක්

0

සතිය ආරම්භයේදීම අගමැතිවරයා ඇමැති සජිත්ගේ ආරාධනයෙන් 127 වැනි උදාගම ලෙස ඩී.ඇස්. සේනානායකගම විවෘත කළේ හම්බන්තොටදීය. දුගී ජනතාව වෙනුවෙන් සජිත් කරගෙන යන වැඩපිළිවෙළ රාජපක්ෂලාට කළ නොහැකි වූ බව පෙන්වා දුන් අගමැතිවරයා එහිදී ලෝක හා රටේ ආර්ථිකය ගැනද කතා කළේය.

“රුසියාවට හා ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම හා ඇමෙරිකාව විසින් ඩොලර් පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ලොව සියලු රටවල මුදල් ඒකකය අවප්‍රමාණ වුණා. ලංකාව ඇතුළු මුළු ලෝකයම දැන් ඒකට පිළියම් හොයනවා. රුපියල බාල්දු වෙලා යැයි කෑගහන රාජපක්ෂලා අද බලයේ හිටියා නම් රුපියල ශක්තිමත් කරන ඒ අරුම පුදුම ක්‍රමය රටට එළිකරන්නැයි මම අභියෝග කරනවා” අගමැතිවරයා කීවේ දැඩි ඔල්වරසන් හඬ මධ්‍යයේය.

බ්‍රහස්පතින්දා උදේ නිවෙසින් උදේ ආහාර නොගෙනම අගමැතිවරයා අරලියගහ මැඳුරට ආවේ වසර 03ක සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රංශ හා ජපන් තානාපතිවරුන්ට සමුදීමට සූදානම් කොට තිබූ උදෑසන ආහාරය සඳහා එක්වීමටය. සමරු තිළිණ හුවමාරුව මෙන්ම එම තානාපතිවරු හරහා රටවල් අතර හොඳ හිත හා ආර්ථික සබඳතාව තවත් තරවූ බව එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ ඔවුන්ට සුබ පතමිනි. ඇමැති කබීර් හෂීම් හා සාගල රත්නායකද ඊට එක්වූහ.

අනතුරුව අගමැතිවරයා සිය කාර්යාලයට එනවිට මැති ඇමැතිවරු රැසක් එහි පැමිණ තිබිණි. ඔවුන් සමඟ ආගිය තොරතුරු කතාබහ කිරීමටද අගමැතිවරයා අමතක නොකළේය.

“මේ රටේ නීති ක්ෂේත්‍රය ගැන ලොව පුරා පිළිගැනීමක් තිබෙනවා. ඒත් ළඟදී නඩුවක විත්ති පාර්ශ්වයක් නියෝජනය කරන නීතිඥයෙක් නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවලා එහි ප්‍රධානියෙක් හා තවත් නිලධාරීන් හතර දෙනෙක් ඔහුට තර්ජනය කරලා කළු කෝට් ගලවනවා හිරේ යන්න වේවි ආදිය කියලා බය කරල ඒ නඩුවට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා තිබෙනවා. කෝලිත ධර්මවර්ධන කියන නීතිඥ කණ්ඩායමේ චන්දන පෙරේරා කියන නීතිඥයාටයි එහෙම බලපෑම් ඇවිත් තියෙන්නේ. මේක මාර වැඩක්” රවි කරුණානායක කීවේ අගමැතිටය.

“මටත් ආරංචියි. එහෙම කළා නම් ඒක ඉතා වැරැදි වැඩක් හා නරක පූර්වාදර්ශයක්. නඩුවකදී සේවාදායකයාගේ විස්තර හා ලියකියවිලි තර්ජන කරලා ඉල්ලන්න වෙනත් කිසිම පාර්ශ්වයකට අයිතියක් නෑ. ඒක නීති විරෝධී සදාචාර විරෝධී වගේම නීති ආචාර ධර්මවලටත් පටහැණි පහත් වැඩක්” අගමැතිවරයා කීය.

“ඒ චන්දන පෙරේරා කියන නීතිඥයා මේ ගැන පොලිස්පතිට, නීතිපතිට, අග්‍රවිනිශ්චකාරයට, නීතිඥ සංගම්වලට වගේම නීතිය හා සාමය ඇමැතිට හා අධිකරණ ඇමැතිනියටත් පැමිණිලි කරලාලු. නීතිඥයන්ට විතරක් නෙවෙයි සාක්කිකාරයන්ටත් තර්ජන දාලා නඩු අහන ක්‍රමයට මේ රට ගෙනියන්න නීතිපති එකේ නිලධාරීන් ක්‍රියා කළොත් ඒක මහා ඛේදවාචකයක් වේවි” රවි කරුණානායක කීය. නීතිඥයකු වන ලක්ෂ්මන් කිරිඇල්ලද එය එකහෙළා සහතික කළේය.

“ඒ නීතිඥයාගේ පැමිණිලි ගැන අදාළ සියලු අංශවල අය දැඩි පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මීට කලින් මහ බැංකු නිලධාරියෙක් කැඳවල තර්ජන කළාම ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් නීතිපති එකේ ඉහළ නිලධාරියකුට එරෙහිව ගොනු කළා. ඒ කළ නිලධාරියාම දැන් නීතිඥයන්ටත් තර්ජන දැමීම ගැන වහාම පරීක්ෂණ කළ යුතුයි” අගමැතිවරයා දැඩි ස්ථාවරයක හිඳිමින් කීවේය.

“නීතිඥ චන්දන පෙරේරා කළ පැමිණිලිවලින් පස්සෙ අර නීතිපති නිලධාරියා එක එක අය අත පණිවිඩ එවමින් හමුවීමට හා සමථයකට කතා කරනවා කියලත් ආරංචියි. ඒත් ඒ චන්දන නීතිඥයා ඒකට යට නොවන බව කියල ලු” රවි වැඩිදුරටත් කීය.

“පසුගිය කාලෙ වගේ මේ රජය නීතියට අතගහන්නෙ නෑ.ඒත් ඒක කරන්න නීතිපති එකේ නිලධාරීන්ට ඉඩ දෙන්නත් බෑ. නීතිපති එක තියෙන්නේ පොලිසිය සාක්කි විමසලා එයාලට ලබාදෙන කරුණු මත පදනම්ව නඩු පැවරීම වගේ කටයුතුයි. තර්ජන දාන්නයි නඩු විභාග කරන්නයි නීතිපති එකේ නිලධාරීන්ට බෑ. එහෙම නම් උසාවි මොකටද..? කොටින්ම ඔය චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවලා තර්ජන කරන්න තියා ප්‍රශ්න කරන්නත් නීතිපති නිලධාරීන්ට කිසිම අයිතියක් නෑ. මේ ගැන ආණ්ඩුව දැඩි ස්ථාවරයක හඳිමින් කටයුතු කරන්නේ නීතියේ උත්තරීතර රැකගැනීමටයි” අගමැතිවරයා කීවේ නළල රැලිගන්වමිනි.

“මේ වගේ නිලධාරීන් දෙතුන් දෙනෙක් නිසා නීති ක්ෂේත්‍රය කිලිටි වෙන දේ වුණාට මේ රටේ අධිකරණය ගැන අපි තාමත් ඉහළින් විශ්වාස කරනවා. මේ වගේ අඩුපාඩු වහාම හදාගැනීම කළ යුතුයි” නීතිඥ නවීන් දිසානායකගේ අදහස විය.

“නවීන් හරි. නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු හදාගන්න ඕනෑ. දැන් සයිටම් නඩු තීන්දුව බලන්න. සයිටම් වෛද්‍ය උපාධිය සමත් වූ සිසුන්ගේ උපාධිය වෛද්‍ය සභාව පිළිගත්තෙ නැති නිසා ඔවුන් ඇපැල් අධිකරණයට ගියා. ඒ උපාධිය පිළිගන්න කියලා ඒ අධිකරණය නියෝග කළාම වෛද්‍ය සභාව ඊට විරුද්ධව ශේ්‍රෂ්ඨාධිකරණයට ගියාම එතැනිනුත් එම තීන්දුව ආවා. ඒක ඉතා සාධාරණ හා යුක්තිගරුක තීන්දුවක්. සයිටම් වහන්න ක්‍රියාකළ අය සිසු පරපුරට මහා වරදක් කළේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“එදා කිරිඇල්ල, රාජිත ඇමැතිතුමන්ලා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් සයිටම් ගැන කතාකරන කොට සල්ලිවලට කහිනවා කියලා විපක්ෂය හා ශ්‍රී ලනිප ඇතැමුන් මඩ ගැහුවා. ඔබතුමන්ලා දෙපළ සිසුන් වෙනුවෙන් කළේ යුක්තිගරුක සටනක් බව ශේ්‍රෂ්ඨාධිකරණයත් දැන් තහවුරු කරලා තියෙනවා” චමින්ද විජේසිරි කී විට සියලු දෙනා එය අනුමත කළහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here