දින සියය වැඩපිළිවෙල ගැන ජනාධිපති දන්නවා….අපිට ගහනකොට මෙහෙම කට වහගෙන ඉන්න බෑ…එජාප මන්ත්‍රීවරු අගමැති වටකරගෙන ජනපතිට දෙහි කැපූ හැටි!

අගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එජාප කෘත්‍යාධිකාරි රැස්වීමටය. වෙනදාටත් වඩා විශාල පිරිසක් එදින සිරිකොතට පැමිණ තිබිණ.

“ජනාධිපතිතුමා ඊයේත් එජාපයයි ඔබතුමායි නැති කලා” බෙහෝ දෙනෙකු කීවේ අගමැතිවරයා වාහනයෙන් බැස ඇතුලට යන අතරේය.

“කෘත්‍යාධිකාරියේදී  ඒ ගැනත් කට්ටිය කතා කරාවි.බලමු ….බලමු. කලබල වෙන්න එපා. ” අගමැති කීවේ සුපුරුදු සැහැල්ලුවෙනි.න්‍යාය පත්‍රය අනුව කෘත්‍යාධිකාරිය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණ. වැඩිවෙලා නොගොස්ම ජනාධිපතිවරයා සෝභිත හිමිගේ උත්සවයේදී කල කතාව ගැන බොහෝ දෙනෙක් කතා කරන්නට විය.

“ජනාධිපතිතුමා හිතෙන හිතෙන වෙලාවට එජාපයට හා අගමැතිතුමාට පහර දෙනවා. ඒත් ඔබතුමා හෝ පක්ෂය  මේවාට උත්තර දෙන්නේ නැති එකෙන් ඒ ඔක්කොම කුණු එජාප එකවුන්ට් එකටයි වැටෙන්නේ ” බොහෝ දෙනෙකු කීවේ එවැන්නකි.

“ ජනාධිපතිතුමාට ඔහුගෙ මතය ප්‍රකාශ කිරීමේ අයිතිය කාටවත් වලක්වන්න බෑ. එජාපයේ අපි කලබල විය යුතු නැහැ. ඕවාට උත්තර බැදීමත් අනවශ්‍යයි. ” අගමැති කීවේ සිනාමුසුවය.

“ ඒත් ගහන්න ගහන්න වදින එකා අන්තිමේ මෝඩයා බවට පත්වෙනවා.අපි දැන් උත්තර නොදුන්නත් අවශ්‍ය වෙලාවට මේවාට නිසි උත්තර දෙන්න ඕනෑ. ඒවගේම එතුමා පෙන්වා දෙන අපේ වැරදි සත්‍ය නම් ඒවා වහාම නිවැරදි කර ගැනීමත් අත්‍යවශ්‍යයි. ” කෘත්‍යාධිකාරියේ බහුතරයකගේ අදහස එය විය. එහිදී අගමැතිවරයා හිස සැලුවා මිසක කිසිවක් කීවේ නැත. තවත් බොහෝ දෙනෙකු ජනපතිගේ කතාව හා වෙනත් දේ ගැන විවිධ අදහස් පළ කලහ. කෘත්‍යාධිකාරිය නිම කල අගමැතිවරයා තේ පානය සදහා සිය කාර්යාලයට ගිය විට එජාප මැති ඇමතිවරු හා කෘත්‍යාධිකාරී සාමාජිකයින් බොහෝ දෙනෙක්ද එතනට රැස් වූහ.

“2016 අප්‍රේල් 09 දා ජනාධිපතිතුමා කරපු කතාවක එතුමා කියන්නේ මහින්දට හෙලිකොප්ටර් දුන්නේ එයා කියලයි. දැන් ඒක අගමැතිතුමාගේ ඇගේ ගහන්න හදනවා. සමාජ ජාලා වල ඒ වීඩියෝ එක මම දැක්කා ” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.

“අනික දින 100 වැඩ පිලිවෙලට අදාල ප්‍රතිපත්ති ප්‍රකාශය විහාරමහා දේවී එකේ බුදු පිළිමේ ඉදිරිපිට එලිදක්වන වෙලාවේ ජනාධිපතිතුමා කල කතාවක් දැන් සමාජ ජාලා වල තියෙනවා මම දැක්කා. ඒකෙදී එතුමා කියන්නේ දින 100 වැඩ පිළිවෙල හදන්න හා එය ක්‍රියාත්මක කරන්නත් තමා කැපවන බවයි. දැන් එතුමා වෙන බයිලාවක් කියනවා” බදුලු දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ සිනා මැදය.

“දින 100 ඉවර වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරවන්න එජාපය යෝජනා කලා. සිවිල් සමාජය හා සෝභිත නාහිමි කියන්නේ 19 වැනි සංශෝධනයක් සම්මත කරලා විසුරවන්න කියල නිසා තව කල් ගනිමු කියල යෝජනා ජනාධිපතිතුමාමයි ” අගමැතිවරයා අතීතය සිහිපත් කලේය.

“එජාපය කියපු වෙලාවෙ මහ ඡන්දයට ගියා නම් අපට මන්ත්‍රීධුර 120 ක් වත් ගන්න තිබුණා. කල් දැමීමෙන් එජාපයටයි අවාසි වුණේ. ” නවීන් දිසානායක කීය. “ අපේ මාමණ්ඩි කතානායකතුමාගෙ ප්‍රධානත්වයෙන් තිබුණු රැස්වීමක ජනාධිපතිතුමා අගමැතිතුමා හා එජාපයට ප්‍රහාර එල්ල කිරීම නිසා කතානායකතුමත් අපහසුතාවයකට පත් වෙලා කියල ආරංචියි. ” නවීන් වැඩිදුරටත් කීය. ජනාධිපතිවරණය දිනපු ගමන් එජාප නායකයා අගමැති කරන බව මැතිවරණ වේදිකා වල ජනතාවට කියපු එක කාටවත් අමතක කරල දැන් කතා කරන්නත් බැහැ. ” ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කලහ.

“ ශ්‍රීලනිප ලේකම් ජනාධිපති කරල එජාපයට පස්ස පැත්තේ අත පිහිදාගන්න බැහැ. රනිල් මැතිතුමා අගමැති කලේ ඒ තුලයි. ”  චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

“අගමැතිතුමාගේ ස්ථාවරය හරි. කතා වලට උත්තර දීම වෙනුවට රට පාලනය, ණය ගෙවීම,ආයෝජන ගෙන ඒම, ජනතාවට සහන දීම වගේ ආණ්ඩුවේ මූලික අරමුණු වල පිහිටා කටයුතු කිරීමට මූලිකත්වය දීම ඉතා නිවැරදියි. ” නවීන් දිසානායක කීය.

“ජනාධිපතිතුමා හා අර ශ්‍රීලනිප 16 නඩය ප්‍රසිද්ධියේ එජාපය හා ආණ්ඩුව විවේචන කරපු නිසා පලාත් පාලන ඡන්දය එජාපය විතරක් නෙමෙයි ශ්‍රිලනිපයත් පැරදුණා. පොහොට්ටුවට බලය අරන් දුන්නෙ ඒ කට්ටියයි. ” චමින්ද විජේසිරි කී දේට සියලු දෙනාගේ එකගත්වය පල විය.  “ ජනාධිපතිතුමා දැන් දේශපාලන ලෙස විශාල පීඩනයක ඉන්න හැඩයි. ඒකට එජාපය පලි නෑ. ”චමින්ද වැඩි දුරටත් කීය.

“රු.ලක්ෂ 10 ක් පගාව අරන් දයාසිරි නාපු නෑම පුදුමයි. ඔහු පාර්ලිමේන්තුවේ  හා ඉන් පිටත මේ ගැන කතා දෙකක් කීම තුල ඔහු තවත් හිර වුණා.දයාසිරි බැදුම්කරේට ගැහුවෙ එයාට දීපු මුදල මදිවෙලා කියලයි කුරුණෑගල පැත්තෙ ඒකාබද්දේ අය ඒ පැත්තේ පතුරවන්නේ කියල ආරංචියි. ” රන්ජන් රාමනායක කීවේ සිනා මැදය.

“ දැන් අපි 20 වැනි සංශෝධනයට මොකද කරන්නෙ” සභානායක කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.

“ජවිපෙ ඒකට හදිසි වුණා වැඩිද කියලත් හිතෙනවා. අපි කථා කරලා බලමු. රටට වඩාත් හොදක් කරමු” අගමැති කීය.

“ජවිපෙ මුලින්ම මහින්දලා එක්ක මේක කථා කළාම 20 සම්මත වෙනකොටම පාර්ලිමේන්තුව විසුරවන කොන්දේසිය දාලා. පාර්ලිමේනුතුවේ කවුරුත් ඒකට කැමති නැති පාටයි” නවීන් දිසානායක මෙන්ම විජේදාස රාජපක්ෂ කීවේ එකම කතාවකි.

“මැලේසියාව වගේ එක පාරට ලංකාවේ හොරු ඇල්ලුවේ නැති වීම ගැන අද නොයෙක් මත තියනවා. මැලේසියාවේ වගේ ලංකාවේත් හොරු ගැන පරීක්ෂණ පටන් ගත්තා. ලංකාවේ සමහරුන්ට නඩු දැම්මා. අත්අඩංගුවටත් ගත්තා. අපේ පවතින නීතිය අනුව බොහෝ දෙනෙක් ඇප ගත්තා. ඇමරිකානු නීතිය අනුවත් මැලේසියාවේ පරීක්ෂණ යන බව ආරංචියි”  විජේදාස රාජපක්ෂ කීය.

“ලංකාවේ නීතිය හොරුන්ට මිණීමරුවන්ට දඩුවමට වඩා රැකවරණ ලැබෙන බවයි ජනතාව කියන්නේ. ගෝඨාභය අත්අඩංගුවය ගැනීම පවා වළක්වන නියෝග දිගිනි දිගටම ඒම ගැනත් ජනතාව එකග නෑ” චමින්ද විජේසිරි මෙන්ම රන්ජන් රාමනායක කීවේ එකම අදහසකිනි.

“ගෝඨාභය බේරුවලත් බැසිල් ගාල්ලෙත් මුස්ලිම් නෝම්බි උත්සවයට යාම ගැන සමාජ ජාලා වල මාර විග්‍රහ යන්නේ” සිංහලයා ගැන බලන්න අපි වෙන කෙනෙක් තෝර ගත්තනම් කියලයි” ඒවායේ ගෝඨාභයට ප්‍රහාර එල්ල කරන්නේ. සිංහල ජාතිවාදීන් හැමෝගෙම අදහස ගෝඨාභය හා බැසිල් අනවශ්‍ය වැඩක් කළ බවයි. උත්සවයකට මුස්ලිම් අය ඒවි. ඒත් මුස්ලිම් ඡන්ද එයාලට ගන්න බෑ” රන්ජන් රාමනායක කීය.

“ගෝඨාභයගේ කැම්පේන් එක ගියාට බහුතර ජනතාව හමුදාවේ කෙනෙක්ට රට භාර දෙන්න කැමති නෑ. අනික ඔහුට තියෙන චෝදනා නිසා මේ තත්ත්වය තවත් අවුල් වෙනවා” පී හැරිසන් කීවේ එවැන්නකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here