තවත් කෑ ගැහුවොත් ෆොන්සේකාට වැඩ වරදින හැඩක්

0

සතියේ කැබිනට් හමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පෙරවරුවේ පැවැත්විණි. මෙහිදී වැඩි අවධානය යොමු වූයේ ආගමික ස්ථානවල බිලි පූජා තහනම් කිරීම ගැනය.

එය සම්පූර්ණයෙන් තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. පාර්ලිමේන්තු සතියක් නොවුණු නිසා සිය ගම්බිම්වල යොදාගත් වැඩකටයුතු නිසා බොහෝ ඇමැතිවරුන් සිය ගම්බිම් බලා පිටත්ව ගියහ. බදාදා පස්වරුව වන විට ඔවුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පණිවිඩ ලැබුණේ බ්‍රහස්පතින්දා දහවල් 12.00ට හදිසි කැබිනට් හමුවක් යෙදී තිබෙන නිසා ඊට සහභාගි වීම අනිවාර්ය කර ඇති බවය. ඇමැතිවරුන්ට සිදුවූයේ ගම්බිම්වල පැවැති උත්සව අවලංගු කර යළි කොළඹ පැමිණීමටය. දහවල් 12.00 වන විට කැබිනට් හමුව ආරම්භ වූ අතර පැය දෙකකට ආසන්න කාලයක් හමුව පැවැත්විණි. මේ සඳහා කැබිනට් ඇමැතිවරු 16 දෙනකුගේ පමණ අඩුවීමක් දක්නට ලැබූ අතර ඔවුන් විදේශ ගත වී තිබීම ඊට හේතුව වී ඇති බවද වාර්තා වේ. ඒ වෙනුවට අදාළ අමාත්‍යාංශවල වැඩබලන අමාත්‍යවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් කැබිනට් හමුව නියෝජනය කිරීමද විශේෂයකි.

තවත් විශේෂත්වයක් වූයේ නීතිය හා සාමය ඇමැතිවරයා වන රංජිත් මද්දුම බණ්ඩාර විදේශ ගත වී සිටි අතර වැඩ බලන ඇමැතිවරයා වන නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ද හදිසියේම විදේශගත වීම හේතුවෙන් විශේෂ කැබිනට් හමුවට සහභාගි නොවීම විශේෂත්වයකි.

මෙම කැබිනට් හමුවේදී උණුසුම් මත ගැටුම් ඇති වී ඇති අතර අවස්ථා දෙකකදීම ජනපති මෛත්‍රි කැබිනට් හමුවෙන් නැඟිට යෑමට ගොස් තිබේ. මෙම කැබිනට් හමුවේදී විශේෂ අවධානය යොමුවී ඇත්තේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිස් අත්අඩංගුවට ගැනීම ගැනය. සෘජු චෝදනා නොමැතිව ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් ඔවුන් අපහසුතාවට පත්වන අතර එවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර තිබේ.

“දැන් බලන්න. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්න ගියා. ආරක්ෂක ඇමැති හැටියට මම දන්නෙ නෑ. කවුද මේවා කරන්න නියෝග දෙන්නෙ” මෛත්‍රි තදින් කීවේය.

“එතුමට නඩුවක සාක්ෂි ගන්න තියෙනවා නේද ජනාධිපතිතුමනි” ඇමැතිවරයෙක් කීවේය.

“නෑ නෑ මම කියන්නෙ උසාවි නියෝග ගැන නෙවෙයි. නිශ්චිත චෝදනාවක් තියෙනව නම් කෙළින්ම නඩු දාන්න. එහෙම නැතිව ප්‍රකාශ සටහන් කර ගන්න කිය කියා ඒ නිලධාරීන් අපහසුතාවට පත්වෙන්න ඉඩ තියන්න එපා” මෛත්‍රි කීවේය.

“ඒක ඇත්ත ජනාධිපතිතුමනි. එතුමා අපේ රට වෙනුවෙන් විශාල වැඩකොටසක් කරපු කෙනෙක්. රජය වෙනුවෙන් වැඩ කටයුතු කරපු කෙනෙක්. හම්බන්තොට වරාය විරෝධය වෙලාවේ එතුමට මාධ්‍යවේදියෙකුට ගහන්න උනෙත් අපි හින්දා ඇමැති චම්පික කීවේය.

ඇමැති රාජිතද මෙහිදී අදහස් දැක්වීය. අනතුරුව මෙම හමුව අවසන් කිරීමට පෙර ජනාධිපතිවරයා ඇමැතිවරුන්ට උපදෙස් දුන්නේය.

“දැන් එළියට ගිහිල්ල මේවා මාධ්‍යට දෙන්න එපා. එහෙම වුණොත් ඒ ගැනත් හොයා ගන්න පුළුවන්” ජනපති මෛත්‍රි කීවේය.

මේ අතර එහිදී ඇමැති සරත් ෆොන්සේකා ගැනද ජනාධිපතිවරයා කතා කළේය.

“ෆොන්සේකා ඇමැතිතුමා මේ ටිකේ ආමි කමාන්ඩර් එක්ක අනවශ්‍ය ගැටුමක් දාගෙන. වගකිය යුතු කැබිනට් ඇමැති කෙනෙක්. ෆීල්ඩ් මාෂල්වරයා මෙහෙම ගියොත් මේ අයගේ තනතුරු ගැළපෙනවද කියලා බලන්න වෙනවා. මේ තනතුරුවලට මේ වගේ හැසිරෙන එක සුදුසු නෑ” ජනාධිපතිවරයා කීවේය.

ඒ අවස්ථාවේ ෆොන්සේකා ඇමැතිවරයා කැබිනට් හමුවේ නොසිටීමද විශේෂයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here