ජනපති සිහින දකින පිරිසක් ගැන සජිත් විමසිල්ලෙන්…

0

උදා ගම්මාන සියයේ කප් එක අපි ලබාගත්තා. අප කෙසේ හෝ ඉදිරි ගම්මාන 2,500 කප් එකත්, පසුව ගම්මාන 5,000 කප් එකත්, ගම්මාන 10,000කප් එකත් ලබා ගන්නවා. ඒ වගේම ඊළඟ ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ කප් එකත් අපි ලබාගන්නවා යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

කරගෙන යන වැඩකටයුතුවලට කෙතරම් චෝදනා එල්ල කළත්, ඒවා දේශපාලන උප්පරවැට්ටි යැයි පැවැසුවත් ඒවා සිනහමුසු මුහුණින් පිළිගෙන ඉදිරියටත් කටයුතු කරන බවද පැවැසීය.

ආමාත්‍යවරයා එසේ පැවැසුවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මාංගායුත්තු හි ඉදි වූ ‘තට්චනාපුරම්’ සහ ‘කෛලායපුරම්’ 99 වැනි සහ 100 වැනි උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදීය. එහිදී අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මේ නිවාස වැඩසටහනට විවිධ පිරිස් චෝදනා එල්ල කරනවා. ඒ අතර පිරිසක් චෝදනා එල්ල කරන්නේ අගනුවර තරු හතේ අධි සුඛෝපභෝගී කාමරවල සම්මන්ත්‍රණ පවත්වමිනි. ඒ මෙරට සිටින ඇති හැකි සුළුතරය ගැන පමණක් හිතන, තම පවුල් පරපුර තව ශක්තිමත් කරගන්නේ කෙසේද කියා හිතන, ආත්මාර්ථකාමී හැඟීම් ඇති විරුද්ධවාදීන් පිරිසයි. තව තවත් චෝදනා හා විවේචන එල්ල කරන්නැයි මා ඔවුන්ට කියනවා.

අද රටේ දේශපාලන ක්‍ෂේත්‍රයේ දෙපිරිසක් සිටිනවා. එක් පිරිසක් අද ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පිළිබඳව, ඒවාට ඉදිරිපත් වන්නේ කවුද? අරලියගහ මන්දිරයට, ජනාධිපති මන්දිරයට යන්නේ කවුද? කියා මන්තරයක් වගේ ජප කරමින් සිටිනවා. අනෙක් පිරිස වන අප කතා කරන්නේ රටේ උදා ගම්මාන කීයක් ඉදිවනවාද? විවෘත කළ ගම්මාන ප්‍රමාණය කීයද? අපේ ඉලක්කය කුමක්ද? යනාදී කරුණු ගැනයි. එක් පිරිසක් බලයට කෑදරකමින් නැවත සුරසැප ජීවිත ගත කරන්න ජනාධිපති -අගමැති වීමට සිහින දකිනවා. අනෙක් පිරිස වන අප පොඩි මිනිසුන්ගේ ප්‍රශ්නවලට සවන් දී ඒවාට විසඳුම් ලබාදෙමින් ගම් නියම් සිසාරා ඇවිදිනවා. දැන් හැමෝම වෙනස ගැන අහනවා. වෙනස මෙන්න මෙයයි.

මේ අය දැන් අලුත් සූත්‍රයක් හොයාගෙන තියෙනවා. මහරජාණන්ගේ නායකත්වයෙන් අයියාව පන්සලට යවනවා. මල්ලීව දේවස්ථානයට සහ බිරියව තව රැස්වීමකට යවනවා. පුතාලා ඉතිරි රැස්වීම්වලට යවනවා. ඒකෙන් තමන්ට කොපමණ ජනතා ප්‍රතිචාර තියෙනවාද කියා සොයා බලනවා. ඔවුන් එසේ කරන්නේ නැවත සුර සැප විඳින්නට අධිවේගී මාර්ගයෙන් අරලියගහ මන්දිරයට ජනපති මන්දිරයට යන්නයි. ඔබේ අපේක්ෂාව මෙයද? මෙරට අසරණ ජනතාවට නිවාස සාදා දී රටේ උදාගම්මාන ඉදිකිරීමටද නැතහොත් මහරජාණන්ට සහ පරපුරට රජ මාලිගා ඉදිකර ගැනීමටද වැදගත් කියා තීරණය කිරීම ඔබ සතුයි. හැබැයි එම තීන්දුව බුද්ධිමත්ව ගන්න. නැත්නම් ඔබට දුක් වන්නට සිදුවේවි. පාලකයන් ජීවත් කරවන යුගයක් නොව රටේ පොදු ජනතාව ජීවත් කරවන යුගයක් ඇති කිරීම අපේ පැතුමයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here