ජනපති රැගත් හෙලිකොප්ටරය හදිසියේ ගොඩ බැස්සුවේ ඇයි…

0

ජනපති මෛත්‍රි පසුගිය බදාදා පෙරවරුවේ මහනුවර බලා පිටත්ව ගියේ ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැති ‘මතට එරෙහිව පාසලෙන් ජවයක්’ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වීම සඳහාය.

පෙරවරුවේම කොළඹ සිට ගුවනින් නුවර බලා යෑමට ජනපති හෙලිකොප්ටරයට ගොඩ විය. මිනිත්තු කිහිපයක් යන විට ගුවන් නියමුවන් දැනුම් දුන්නේ මහනුවරට අධික වර්ෂාවක් පවතින බැවින් කාලගුණ තත්ත්වය යහපත් නොවන බවය. අනතුරුව ජනපති රැගත් හෙලිකොප්ටරය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්වීය. එතැන් සිට මෝටර් රථයෙන් ජනපති නුවර බලා ගියේය.

“සරත්… මම එන ගමන්. ඔයා වැඩේ පටන් ගන්න” ජනපති පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකට දුරකතනයෙන් දැනුම් දුන්නේය.

පෙරවරු 9.45ට පමණ මහ ඇමැතිවරයා උත්සව සභාවේ වැඩකටයුතු ආරම්භ කළේය. මඳ වේලාවක් ගිය පසු ජනපති මෛත්‍රි එම උත්සවයට පැමිණියේය. ලකෂ්මන් කිරිඇල්ල, ලකී ජයවර්ධන ඇමැතිවරුද එහි පැමිණ සිටියහ.

උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ලබාදීම පිළිබඳව අදහස් දැක්වීය.

“ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියට හසුවෙලා අධිකරණයෙන් දඬුවම් විඳින බව අපි දන්නවා. ඔවුන් අතර මරණීය දණ්ඩනය නියම වුණු අයත් ඉන්නවා. ඒ අය හිර ගෙදර ඉඳලත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. රට පුරා මත්පෙති බෙදනවා. බෞද්ධ සමාජයේ ඒ පිළිබඳ බොහෝ වාද විවාද තිබෙන්න පුළුවන්. මරණීය දණ්ඩනය නියම වුණු අය මරණීය දණ්ඩනය දීම සඳහා අස්සන් කළ යුත්තේ ජනාධිපතිවරයා. ඒ නිසා මම ඇමැති මණ්ඩලයට යෝජනාවක් ගෙනාවා මරණීය දණ්ඩනය නියම වීමෙන් පසුවත් ජාවාරම් කරන අය සඳහා මගේ අස්සන යොදන්න” යැයි ජනපති මෛත්‍රි කීවේය.

අනතුරුව ජනපති මෛත්‍රි ගැටඹේ ක්‍රීඩාංගණයේ ඉදිකළ මත්ද්‍රව්‍ය මැඬලීම සම්බන්ධයෙන් පාසල් සිසුන් ඉදිකළ ප්‍රදර්ශන කුටි නැරැඹීමටද එක් විය.

එය අවසන් වූ ජනපති සරත් ඒකනායක මහ ඇමැතිවරයාද සමඟ මහනුවර ජනපති මන්දිරයට ගියේ දිවා ආහාරය සඳහාය. අනතුරුව ‘ග්‍රාම ශක්ති’ වැඩසටහන වෙනුවෙන් පැවැති උත්සවයක් ජනපති මන්දිරයේම පැවැත්විණි.

එය අවසන් වූ ජනාධිපතිවරයා මහ ඇමැති සරත්ද මෝටර් රථයේ නංවාගෙන යටිනුවර කොටලිගොඩ ගමේ කැටපිටිය විහාරස්ථානයට ගියේ ජනතා ගැටලු විසඳීමේ අවස්ථාව සඳහාය. ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව මෙය සංවිධාන කර තිබිණි. යන අතරතුර ජනපති මෛත්‍රි මහ ඇමැතිවරයා දෙසට හැරුණේය.

“සරත් ඔයා දිගටම වැඩ දාලනෙ. මට කොළඹ ඉන්න ඕන 6.30 වෙද්දි. 8.00ටත් කොටුව මන්දිරයේදී රැස්වීමක් තියෙනවා. දැන් වෙලාව කීයද? බලන්නකො මම යන්නෙ කීයටද කියලා” ජනපතිවරයා සරත්ට කීවේය.

“සර් මගේ වැඩේට යන්නේ පැයක් එකහමාරක් විතර. එච්චරයි මම වෙලාව ගන්නෙ” මහ ඇමැති සරත් කීවේය.

පසුව කැටපිටිය විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා ගම්වැසියන්ගේ ගැටලුවලට කන් දුන්නේය. ජලය, මාර්ග, ප්‍රජා ශාලාවක් නොමැති ගැටලු ගැන මෙහිදී ගම්වැසියන් ජනාධිපතිවරයාට පැවැසූහ. පසුව මහ ඇමැතිවරයාට විසඳිය හැකි ගැටලුවලට එම ස්ථානයේදීම පිළිතුරු දුන් අතර පස්වරු 5.35ට පමණ ගන්නොරුවේ සිට ජනපති මෛත්‍රි ගුවන් මඟින් යළි කොළඹ පැමිණියේය.

මව්බිම

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here