ජනපති එපා කියද්දි මැදිරිගිරිය සංගීතයේ සිංදු කියන්න ගිය පොලිස්පතිට වෙච්ච අලකලංචිය…

0

ජනපති මෛත්‍රි පසුගිය දිනවල සිටියේ පොළොන්නරුවේය. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහනේ පළමු අදියර යටතේ ඉදිකළ සංවර්ධන ව්‍යාපෘති 180 විවෘත කිරීම මෛත්‍රි අතින් සිදුවිය. මේ නිසා මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු මේ දිනවල සිටින්නේ පොළොන්නරුවේය. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකරන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 6000ක් වැය කර ඇති අතර එහි පළමු අදියර යටතේ ව්‍යාපෘති 180ක වැඩ අවසන් කර තිබේ. ඒ සඳහා රුපියල් කෝටි 2500කට ආසන්න මුදලක් වැය කර ඇත. බදාදා දිනයේ ව්‍යාපෘති රැසක් විවෘත කළ ජනාධිපතිවරයා රාත්‍රියේ මැදිරිගිරිය නගරයේ පැවැති සංගීත සන්දර්ශනයකටද සහභාගි විය. මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ පොලිස්පති පූජිත් ජයසුන්දරද මේ සඳහා එක්ව සිටියේය. සංගීත සන්දර්ශනය දෙස මඳ වේලාවක් බලා සිටි පොලිස්පතිවරයාට ගීතයක් ගායනා කිරීමට අතිශය කැමැත්තක් ඇති විය. ඔහු එකවර ජනාධිපතිවරයා දෙස බැලුවේය.

“සර්… මමත් සින්දුවක් කියන්නම් නේද?'” පොලිස්පතිවරයා විමසීය.

“ඔය… ඉතින් හූවක් අහගන්න තමයි යන්නේ මෙන්න මේ… පැත්තකට වෙලා ඉන්න” මෛත්‍රි කීවේ සිනාසෙමිනි.

එහෙත් පොලිස්පතිවරයාට ඉවසුම් නැති විය. කෙසේ හෝ ගීතයක් ගායනා කිරීමට සිත්විය. පසුව ඔහු සංවිධායකවරුන්ට ඒ බව දන්වා වේදිකාවට ගොඩ විය. ගීතය ගායනා කිරීමට මයික්‍රපෝනය අතට ගනිද්දීම “හූ” සංග්‍රහයක් ඇසිණි.

ආ…. නියමයි…. නියමයි… ඕව තමයි ඕනේ… තව පාරක් කියන්න” පොලිස්පතිවරයා සිනාසෙමින් කීවේ වේදිකාවේ සිටගෙනය. අනතුරුව ගීතයක් ගායනා කළ පූජිත් මෛත්‍රි අසලට ගොස් අසුන් ගත්තෙ ලැජ්ජාවෙනි.

“ඒකනෙ මම කිව්වේ… කොහෙද කියන දේ අහන්නේ නෑනෙ.” මෛත්‍රි කීවේ සිනාසෙමිනි.

“කමක් නෑ සර්… වෙබ්වලින් වැඩිපුරම ගහන්නේ සර්ටනේ.. ඊළඟට ඉන්නෙ මම. ඕව නම් මොනවද සර්….” පොලිස්පතිවරයාද සිනාසෙමින් කීවේය.

බ්‍රහස්පතින්දා පස්වරුවේදී පොළොන්රුවේ විවිධ ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු “හෙළ බොජුන් හල” නමින් ඉදිකර තිබූ දේශීය ආහාර අලෙවි හලක් ජනපති අතින් විවෘත කෙරිණි. මේ අවස්ථාවට ඇමැතිනි තලතා, වීරකුමාර සහ මාන්නප්පෙරුම එක්ව සිටියහ. මෛත්‍රි එය විවෘත කිරීමෙන් පසු එහි ආහාර නිරීක්‍ෂණය කර පිටවීමට උත්සාහ කළේය.

“මොකක්ද ජනාධිපතිතුමා” තලතා මෛත්‍රි දෙස බැලුවේය.

“ඇයි මොකෝ?” මෛත්‍රි පෙරළා ඇසුවේය.

“මේකෙන් කෑම මොනවහරි කාලා යයි කියලා අපි හිතුවේ” තලතා කීවේය.

“ආ… හරි හරි කන්න දෙන්නම්. තව වැඩ තියෙනවානේ, එන්නකො යන්න” කියමින් මෛත්‍රි තලතාද සමඟ එක්ව උත්සව භූමියට ගියේය. මෛත්‍රි උත්සවය අමතන විට ඒ අසල පිහිටි බොජුන් හලේ මහා ඝෝෂාවක් ඇසිණි. පාසල් ළමයින් එහි ආහාර ගැනීම නිසා මේ හඬ ඇසුණු බව මෛත්‍රිට වැටහිණි.

“ළමයි නම් මොනවද? ඒ අය කෑම කන්න දඟලන එක අහන්න දෙයක් නොවෙයි අපේ තලතා ඇමැතිතුමියත් මට සද්දයක් දැම්මා හෙළ බොජුන් හලෙන් කෑම කන්න දුන්නේ නෑ කියලා” මෛත්‍රි තලතා දෙස බලමින් කීවේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here