ජනපති ඉරානයේ ගිහින් ගේන දේවල්

ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ සිදුවිය.

ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත‍්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මෙහිදී සංවිධානය කර තිබුණි.

නායකයින් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිනි.

අතීතයේ පටන් දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ මෙහිදී නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ජනාධිපති මෛත්ත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉරාන රජයේ සහය අපේක්ෂා කරන බවයි.

ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත‍්‍රයේ දැනට පවතින සහයෝගීතාවය තවදුරටත් පුළුල් කර ගැනීමට ද නායකයින් සාකච්ඡා කළහ.

ශ‍්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර 50 කට පමණ පෙර සිට ඉරානය සහය ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත‍්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ඉදිරියට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම ඉරානය ශ‍්‍රී ලංකාව විසින් වැඩිවශයෙන් තේ අපනයනය කරන රටක් වන අතර එම කටයුතු ඉදිරීයේදී වැඩිදියුණු කර ගැනීම පිළිබදව ද ජනාධිපතිතුමා ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ පිළිබඳ ඉදිරි පියවර කඩිනමින් ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගන්මින් දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳවද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය පුළුල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් පේෂකර්මාන්ත ක්ෂේත‍්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳවත් අවධානය යොමු විය.

ඉරානය සහ ලංකාව අතර පවතින ගනුදෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සඳහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන් අතර ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන බව ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේය.

ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සඳහා වූ ඒකාබද්ධ කොමිසම යටතේ මෙම සියලු කටයුතු ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ඉරාන ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම 2004 වසරේ දෙරට අතර ඇතිකර ගත් දෙරටේ වෙළෙඳ භාණ්ඩවලට ප‍්‍රමුඛතාව ලබාදීමේ ගිවිසුම ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට ද නායකයින් එකඟ වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here