ජනපති අද ජාතිය අමතයි….පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්..මහජන ගැලරිය වසා දමයි..අලුතින් සැසිවාරය පටන් ගන්නකොට සිදුවන දේ මෙන්න!

වත්මන් පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රාධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.පස්වරු 2.00ට ජනාධිපතිවරයා සිය කතාව ආරම්භ කරණු ඇති.මේ අවස්ථාවේ සිදුවන්නේ සාමාන්‍ය දිනවල මූලාසනයේ සිටින කතානායකවරයාගේ අසුනේ ජනාධිපතිවරයා අසුන් ගැනීමයි.මෙවැනි අවස්ථාවක කතානායකවරයා අසුන් ගන්නේ මූලාසනයට පහලින් ඇති ලේකම් මණ්ඩලයේ මැද අසුනේය.ජනාධිපතිවරයා විසින් අද ආණ්ඩුවේ ඉදිරි කාලයේ සැලැස්ම පාර්ලිමේන්තුව හමුවේ සදහන් කිරීමට නියමිතය.ඉන් අනතුරුව කතානායකවරයාගේ ආරාධනයෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමද සාමාන්‍ය සම්ප්‍රදායයි.මේ අතර අද පෙරවරුවේ සිට පාර්ලිමේන්තුවේ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.ඒ අනුව පාර්ලිමේන්තුවේ සියළුම කාමර,මන්ත්‍රීවරුන්ගේ ඇදුම් කාමර සහ අල්මාරි විශේෂ සෝදිසි කිරීමක් කරණු ඇති.ඊට අමතරව අද මහජන ගැලරිය සම්පූර්ණයෙන් වසා තැබෙන අතර එය වෙන්කර ඇත්තේ ආරාධිතයන් සදහාය.අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ රථ ගාල සම්පූර්ණයෙන් වසා තැබෙන අතර මන්ත්‍රීවරුන්ගේ සියළු වාහන ජයන්තිපුර පිහිටි රථ ගාල වෙත ගාල්කල යුතුය.මන්ත්‍රීවරුන් විසින්ම පදවාගෙන එන වාහන මන්ත්‍රී පිවිසුම දක්වා රැගෙන විත් පාර්ලිමේන්තුවේ රියදුරන්ට භාරදිය යුතු බවද පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියා සිටියේය.අනතුරුව රියදුරන් විසින් එම රථ ජයන්තිපුර රථ ගාල දක්වා රැගෙන යනු ඇති.කෙසේ වෙතත් සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පස්වරු 1.30 පමණ වන විට පාර්ලිමේන්තුවේ සභා ගැබේ අසුන් ගන්නා ලෙස දන්වා තිබේ.ඊට අමතරව පැමිණෙන ආරාධිතයින් පස්වරු 1.00 පමණ වනවිට අසුන් ගැනීමට කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවද වාර්තාවේ.අද දිනය වෙන් කර ඇත්තේ නව සැසිවාරය ආරම්භ කිරීමේ කටයුතු සදහා පමණි.හෙට දිනයේ සිට පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here