ජනපතිට කොකා පෙන්නන ශ්‍රිලනිප ඇමතිවරු ගැන අගමැතිට ඉඟියක්

Uඅගමැති රනිල් බ්‍රහස්පතින්දා උදේම සිරිකොත ගියේ එහි තිබූ ආගමික කටයුත්තකට හා එජාප ජාතික සංවිධායක ලෙස පත්වූ ඇමති නවීන් දිසානායකගේ රාජකාරී ඇරඹීමේ නිල උත්සවයට එක්වීමටය. ඒ සදහා අති විශාල පිරිසක් එක්වී සිටීමද කැපී පෙණින.

එජාප නායකයා මෙන්ම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස උප නායක රවී කරුණානායක මහ ලේකම් අකිල විරාජ් ඇතුලු සියලු මැති ඇමතිවරු මෙන්ම එජාප පසුපෙල මන්ත්‍රීවරු රැසක්ද පැමිණ සිටියහ.

“එජාපය කිසිදා යටපත් කල නොහැකි හා පරාජයට පත් කල නොහැකි මේ රටේ විශාලතම හා විශාලම සේවාව රටට කල පක්ෂයයි.සියලු දෙනාගේ එකමුතුව හා කැපවීම කල විට 2020 දී තනි ආණ්ඩු බලය මෙන්ම රටේ නායකත්වයද එජාපයට ලබා ගැනීම කිසිසේත්ම අසීරු නැහැ. ඒ වෙනුවෙන් නව තනතුර සදහා මගේ උපරිම කැපවීම සිදු කරනවා. නව උපාය මාර්ග අනුගමනය කරමින් එජාපය රට පුරා නගා සිටුවනවා. ඉතිරි වසර 1 ½ තුල ආණ්ඩුවත් රටට ජනතාවට උපරිම සේවාව කිරීමට වගබලා ගත යුතුයි. එය ඉටු කිරීමේ සැලැස්ම දැන් වේගයෙන් ඉදිරියට යනවා. ” නවීන් දිසානායක කීවේ දැවැන්ත අත්පොලොසන් මධ්‍යයේය.

“එජාපය බාරගෙන 2030 වෙනතෙක් ඉදිරියට ගෙන යා හැකි දක්ෂ තරුණ නායකයන් අපට ඉන්නවා. එත් විපක්ෂයට ඉන්නේ යුද්ධය මැද බයවෙලා ඇමෙරිකාවට පලා ගිය විශ්‍රාමික හමුදා නිලධාරීන් විතරයි. ඔවුන්ට මේ රටේ සුළු ජාතීන් විතරක් නොව සිංහල බහුතරයකුත් කැමති නැහැ. ඔවුන්ගේ දේශපාලන හැසිරීම් ජනතාවට මතකයි” අගමැති රනිල් කීවේද දැඩි ප්‍රතිචාර මැදය.

එම උත්සවයට එක්වීමට එක්වීමට නොහැකි වූයේ පාර්ලිමේන්තු රාජකාරී නිසා බව සඳහන් කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලද ඇමති නවීන් වෙත සුබ පැතුම් පණිවිඩයක් එවා තිබිණ. සිරිකොතේ සිට අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගිය අතර ඔහුගේ කාර්යාලය තුළ මැති ඇමතිවරු රැසක් ඔහු අපේක්ෂාවෙන් සිටියහ.

“නවීන්ගෙ වැඩේට පාර්ලිමේන්තුව නිසා යන්න බැරි වුණත් මම සුබපැතුවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ඒ උත්සවය හොඳට සංවිධානය වෙලා තිබුණා. සජිත් රවී අකිල ඇතුලු සියලුදෙනා එකතු කරගෙන ඒ උත්සවය කරන්න නවීන් සමත්වී තිබීමත් ඉතා හොඳ පෙරනිමිත්තක්. මම සැර කතාවකුත් කළා” අගමැතිවරයා කිය.

“ප්‍රාදේශිය සභා ඡන්ද කාලෙ ගෝටාභය ඇමෙරිකාවට වෙලා කූල් එකේ හිටියෙ. එයාගෙ අද දඟලන ටීම් එකත් ඒ ඡන්දයට බැස්සෙ නැහැ. ඒත් දිනුවට පස්සේ ගෝටායි එයාගෙ සෙට් එකයි තමයි දැන් පොහොට්ටුව අතට අරන් තියෙන්නේ. ඒ නිසා ඇතුලෙ ලොකු අවුල්ලු. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ගෝටා තනියම පොටෝ දාගෙන පෝස්ටර් ගහන එකටත් ඡන්දය දිනවපු බැසිල් හා එයාගෙ ටීම් එකයි පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලයි විරුද්ධලු. ” දයා ගමගේ කීය.

“ එකපාරට ආපු ගංවතුරෙන් ලක්ෂයට වඩා අනාථ වුණා. සියල්ල නිසි ක්‍රමවේදයකට කළමණාකරණය කරගන්න ආණ්ඩුවට හැකි වුණා කියල විපක්ෂය පවා පිලිගන්නවා” වජිර අබේවර්ධන කීය.

“ ජීවිත හා දේපල බේරා ගැනීමට මුල් තැන දෙන්න. අවශ්‍ය තරම් මුදල් හා හමුදාව යොදවන්න. ” අගමැතිවරයා උපදෙස් දුන්නේය.

“ මේ වසරෙදි නියගය හා ගංවතුර රටේ ආර්ථිකයට විශාලම හානිය කලා. ණය ගෙවීම වගේම මේ විපත් හරහා සිදුවන අලාභයත් අපි කළමණාකරණය කරගත යුතුයි. ” අගමැතිවරයා වැඩි දුරටත් කීය.

“ හිටපු ආපදා කළමණාකරණ ඇමතිට වඩා නව ඇමති දුමින්ද මේ ගංවතුරේදී හුගක් මහන්සි වෙලා වැඩ කලා. ” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.

“ශ්‍රීලනිපයෙන් කැඩුණු 16 දෙනා ජනාධිපතිතුමා එක්ක ඉන්න බව මුලින් පෙන්නුවත් දැන් එයාල මහින්ද එක්ක කතා කලාට පස්සේ එතුමාට එළිපිට කොකා පෙන්නන තත්වයක් තියෙන්නේ.” ගයන්ත කරුණාතිලක කීදේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කලහ.

“ කෝටි ගණනක් වැය කරලා සති ගණන් රණවිරු උපහාර උලෙලවල් කරනවාට වඩා ඒ මුදල් රණවිරුවන්ගේ සුබ සාධනයටම යොදවන්න ආණ්ඩුව තීන්දු කල එක හොදයි කියල ජනතාවත් කියනවා. ඒත් පාර්ලිමේන්තුව ලග තිබුණු රණවිරු උපහාරයට අගමැතිතුමා නාවේ ඇයි කියල හුග දෙනෙක් අහනවා. ඔය මාධ්‍ය අංශ මොනවද කරන්නෙ මට නම් තේරෙන්නෙ නෑ. ”කිරිඇල්ල කීවේ නෝක්කාඩුවට මෙනි.

“අගමැති මාධ්‍ය අංශය මේ තත්ත්වය රටට කියන්න තිබුණා. මිනිස්සු හිතන්නෙ අගමැතිතුමා උත්සවය මඟ හැරියා කියලයි” චමින්ද විජේසිරි කී දේ සියලු දෙනා අනුමත කළහ.

“උතුරේ මියගිය ත්‍රස්තයන් සමරන්න ආණ්ඩුව ඉඩ දුන්නා කියල විපක්ෂය අපට ලොකු මඩක් ගහනවා” ගයන්ත කරුණාතිලක කිවේය.

“71 හා 88 කැරලි වලින් මියගිය අය ජවිපෙ දිගටම සමරනවා. ඒ කාලෙ ඒ අයටත් ත්‍රස්තවාදීන් කියලයි ලේබල් කලේ. ඒ නිසා මියගිය අය සමරන එක ඒ පවුල් කරන කොට කාටවත් ඒක නවත්වන්න බෑ” ලක්ෂමන් කිරිඇල්ල කීය.

“ඔව්. රට බෙදනවා කීවොත් ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා කීවොත් අවි අරන් කැරලි ගහන්න ආවොත් නීතිය කැඩුවොත් ඒක නවත්තන එක ආණ්ඩුවේ වගකීමයි. ඒත් පන්සලකට කෝවිලකට පල්ලියකට ගිහින් කවුරු හරි තම මියගිය ඥාතීන් සමරන එක නවත්වන්නේ කොහොමද” අගමැතිවරයාද කීය.

“වියත් මඟ ප්‍රාතිහාර්ය ජනක දේශපාලන ආර්ථික හා සංවර්ධන වැඩ පිළිවෙලක් බව කඩේ යන අයයි බොහෝ මාධ්‍යයි කීවත් ඒක මේ රජයේ “2025 දැක්ම” හි කාබන් කොපියක් බව මලික් ඇමතිතුමා රටට පෙන්වාදීම ඔවුන්ට ලොකු පහරක් වුණා. දෙක අතර ඇති එකම වෙනස ඒ අය එජාපයට එවා මේ වැඩ පිළිවෙලට වැඩිපුර වසර 05ක් ඉල්ලා සිටීම විතරක් බවත් මලික් පෙන්වාදීම ඉතා වටිනවා. ”  විජේදාස රාජපක්ෂ කී දේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කළහ.

“ විජේදාස ඇමතිතුමා බැලුම්ගල පුරා වස්තු විනාශය හා දඹුල්ලේ බිතු සිතුවම් පිලිසකර කිරීමේ අවස්ථාවලට ගිහින් සොයා බැලීම කවුරුත් අගය කරනවා. ” දයා ගමගේ කීවේ විජයදාසට සියලු දෙනා ප්‍රශංසා කරන අතරේය.

“ මංගල ඇමතිතුමා එක්ක පටලැවිලා ගෝඨාභය හොදට අහගත්තා. අපි ගෝඨාට බය තමයි තමයි එක්නැලිගොඩලා ලසන්තල හා හිරකරුවන් 27ට සිදු වූ දේවල් හා සුදුවෑන් ගැන මතක නිසා මුළු රටම ඔහුට බය බව කීම හොදට වදින්න ඇති. ” චමින්ද විජේසිරි කීවේ සිනාමැදය.

“ 2019 දී ලංකාවට ගෙවන්න ඇති ණය වලින් 77% ක්ම මහින්ද ගත්ත ඒවාලු. රු.මිලියන 4285 ක් ගෙවන්න තියෙනවාලු. 2020 දී බිලි.රු.3768 ක් ගෙවන්න තියෙනවලු. ණය විවාදයකට එන්නත් මහින්ද රාජපක්ෂට අභියෝග කලා.ණය ගැන මිසක් එතුමාල කරපු දූෂණ ගැන ඒ විවදයේදී වචනයක්වත් කතා නොකරන බවට මංගල ඇමතිතුමා ලොකු පොරොන්දුවකුත් දීපු එක මාරයි. ” චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනාමැදය.

“ වියත් මග කියන්නෙ ජාතිවාදයේ, ආගම්වාදයේ හා භීෂණයේ තෝතැන්නක්. ජනතාව ඒකත් දන්නවා” විජේදාස රාජපක්ෂ කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here