ගම්පහ ඉන්න චන්ඩි කවුදැයි චමල් ප්‍රසන්නගෙන් සහ ලන්සාගෙන් අසයි…

පසුගිය සතියේ දේශපාලන ලෝකයේ වඩාත් අවධානය යොමු වූ කාරණය වුයේ ගෝඨාභයගේ නෙළුම් මාවත සම්ප්‍රාප්තියය. ගෝඨාභය පමණක් නොව මහින්ද, චමල්, බැසිල් යන ‍රාජපක්ෂ සොයුරන් සිවුදෙනාම 05 වැනි දා උදෑසන නෙළුම් මාවතට ආහ.

ඒ පළාත් සභා මන්ත්‍රීවරුන්ට  පොදුජන පෙරමුණේ සාමාජිකත්වය පිරිනැමීමේ උත්සවයට සහභාගී වන්නටය. නෙළුම් මාවතට මුලින්ම ආවේ බැසිල්ය. පක්ෂයේ පාලක ලේකම් රේණුක ඇතුළු පිරිසක් බැසිල්ට නෙළුම් පොහොට්ටු පොකුරක් පිළිගැන්වූහ.

“මේ මොකද මේ මාව පිළිගන්නේ? බැසිල් පුදුමයෙන් ඇසුවේය.

“නෑ සර් ඉතින් අපි සර්වත් පිළිගන්න හිතුවා” රේණුක කිවේය.

“මාව අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ. මම මෙතැන හිටිය මිනිහා. මං මේ වේලාසන මෙතැනට ආවේ සංවිධාන කටයුතු ගැන හොයලා බලන්න. මෙච්චර වෙලා මම හිටියේ මහින්ද මහත්තයාගේ ගෙදර. ගෝඨාභය මහත්තයත් ඉන්නේ එතැන” බැසිල් පැවසීය.

ඒ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එහි පැමිණ සිටි අතර චමල් ද වේලාසනම ඇවිත් සිටියේය. චමල් ළඟ සිටියේ ප්‍රසන්න සහ ලන්සාය.

“ආ ඔයාලා ගම්පහ දිස්ත්‍රික්කයේ කරන්නෙම චණ්ඩි වැඩ නේද? මොකද අර 16 කණ්ඩායමට විරුද්ධ වුණයි කියන්නේ? චමල් ඇසුවේ ප්‍රසන්නගෙනි.

“එහෙම විරෝධයක් නැහැ සර්. අපි කිව්වේ කවුරු ආවත් මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න ඕනේ කියලා විතරයි. අපිට ඉතින් විශ්වාසයකුත් ගොඩනැගෙන්න එපැයි” ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

“මමත් ඔතැන හිටිය මිනිහනේ. ඒ හින්දා මම දන්නවා ඔතැන ඉන්න අයගේ හැටි. සමහරු ඉන්නවා කිසිම විශ්වාසයක් තියන්න ‍බැරි. ඒ අය කොයි වෙලාවේ හරි ආපහු යනවා. ඒ ගැනයි අපි කිව්වේ. නැත්නම් මහින්ද මහත්තයා ගන්න තීන්දුවකට උඩින් යන්න අපි සූදානම් නැහැ” ලන්සා පැවසීය.

“ඒක තමයි සමහරුන් ගැන අපිට ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි අවධානයෙන් ඉන්න ඕනේ කියන එකයි අපි කියන්නේ” ප්‍රසන්න පැහැදිලි කළේය.

මේ අතර මහින්දත් ගෝඨාභයත් එකම රියක නැගී නෙළුම් මාවතට ආවෝය. කාංචන ජයරත්න ඇතුළු පිරිස මහින්ද සහ ගෝඨා පිළිගත්තේ නෙළුම් පොහොට්ටු පිළිගන්වමිනි. පළාත් සභා මන්ත්‍රීවරුන් වෙත පක්ෂ සාමාජිකත්වය පිරිනැමීම අනතුරුව සිදුකෙරිණි.

මේ වන විටත් විශාල ජනකායක් නෙළුම් මාවතේ කාර්යාලයට පැමිණ සිටි අතර මහින්ද, චමල්, ගෝඨා සහ බැසිල් නෙළුම් මාවතේ කාමරයකට ගියේ තේ පානයටය. “කෝ අර අනෙක් මන්ත්‍රීවරුන්ටත් එන්න කියන්න. නැත්නම් මේක පවුලේ හමුවක් වෙනවා” මහින්ද පැවසුවේය.

ඒ අනුව අනෙකුත් මන්ත්‍රීවරුන් ද එම ස්ථානයට ආ අතර මත්තල ගුවන්තොට ඉන්දියාවට විකිණීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව චමල් මෙහිදී හෙළි කළේය. 99 අවුරුදු බද්දකට මත්තල ඉන්දියන් සමාගමකට ලබාදීමට නියමිත අතර ඉන්දියානු මහ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එහි නීරීක්ෂණ චාරිකාවක නිරතව ඇති බවත් හෙළිකෙරිණි.

“හිරේ විලංගුවේ වැටුණත් මත්තල විකුණනවට විරුද්ධව නම් පාරට බහින්න ඕනේ” මහින්ද පැවසීය. අනතුරුව ප්‍රසන්න සහ ඩලස් කැඳවූ මහින්ද මත්තල බේරා ගැනීමේ සටන මෙහෙයවන්නැයි භාර දුන්නේය.

“ඔව් ඉතින් මේ රාජපක්ෂවරුන් හතරදෙනා පාරට බැස්සොත් නම් මත්තල බේරගන්න රටම එකතු වෙන එක අහන්න දෙයක් නැහැ” ප්‍රසන්න පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here