කළු ගඟ දියවර මංගල්ලයේ සංවිධායකයින්ට රෝහිණි කවිරත්න දෙහි කපයි….ජනපතිගේ මූණටම කියන බවත් කියයි….

0

කළු ගඟ රන්දියවර රැඳවුම් මංගල්‍යයට පැමිණි ලග්ගල ජනතාව එම උත්සවය අවසන් වී නිවෙස්වලට ගියේ හැඬූ­ කඳුළින් බව මාතලේ දිස්ත්‍රික් එජාප මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න මව්බිමට පැවැසුවාය.

මෙම ව්‍යාපෘතිය නිසා ලග්ගල ජනතාව විශාල කැපකිරීමක් සිදු කළ අතර ඒ නිසා ඔවුන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවූ බවත් ඉන් ගැටලු බොහෝමයකට තවමත් විසඳුම් ලැබී නැති බවත් මන්ත්‍රිවරිය තවදුරටත් පැවැසුවාය.

තත්ත්වය එසේ තිබියදී පසුගියදා (23දා) පැවැති උත්සවයේදී ලග්ගල ජනතාව ගැන කිසිම සඳහනක් නොකළ බවද පැවැසූ මන්ත්‍රිවරිය උත්සවය අවසන් වීමත් සමඟ මහවැලි අධිකාරියේ නිලධාරීන්ට විරෝධය දක්වා උත්සවයෙන් පිටව ආ බවද සඳහන් කළාය.

ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉකුත්දා (24දා) පෙරවරුවේ පැවැති අතර තමන් එහිදී උත්සවය පිළිබඳව දැඩි විරෝධය දැක්වූ බවද කීවාය.

අපට සැකයක් තියෙනවා මේ උත්සවය තිබ්බෙ මාතලේ දිස්ත්‍රික්කයේද කියලා. ලග්ගල ජනතාව ගැන කිසිම සඳහනක් නෑ. ඒ මිනිස්සු මේ ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. දැන් අවුරුදු 3ක් ඔවුන්ට කුඹුරු වගා කරගන්න බැරි වෙලා තියෙනවා. කන්න 6ක් වැඩ කරගන්න බැරිව ගියා. ඒ අයට ඒ නිසා දෙනව කිව්ව වන්දි මුදල් සත පහක් දීල නෑ. ඒ වගේම හත්තොටඅමුණ ව්‍යාපාරයට වතුර යන්නෙ නෑ. ඒ නිසා වල් අලි දැන් ගම්වදින්න පටන් ගන්නවා. තව ගැටලු බොහොමයක් තියෙනවා. ඒ මිනිසුන්ට ඒවා රුපියල් ශතවලින් මනින්න බෑ. අපි ගැන පුංචි මතක් කිරීමක්වත් කළේ නෑ. පළාත වෙනුවෙන් මහ ඇමැතිතුමාට හරි උත්සවයේ කතාවක් දෙන්න තිබුණා. එහෙම කළේවත් නෑ.

අපේ මිනිස්සු ඊයේ හිටියේ හරිම හිත් වේදනාවෙන්. ඒ අය ගෙවල්වලට ගියේ හැඬු­ කඳුළින්. ඊළඟ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාද කරනකොට මම ජනාධිපතිතුමාගේ මුහුණටමේ අසාධාරණකම් ටික කියනවා. මාව හෙට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් කරන්න පුළුවන්. හැබැයි මගේ නෑදෑයෝ එක්ක මම ගමේ ඉන්න ඕනෑ. උත්සවයේ සංවිධාන කටයුතුත් අන්තිමයි. ආණ්ඩුකාරවරු හිටියේ 4 වැනි පේළියේ. දිස්ත්‍රික්කෙ මන්ත්‍රිවරුන්ට කිසිම පිළිගැනීමක් නෑ. පොලිස්පතිතුමාට පුටුවක් ගෙනැල්ලා ඉඳගන්න දුන්නා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here