ඡන්ද කල් දැමීමේ රහසිගත මෙහෙයුම අරලියගහ මන්දිරයේදී එළියට ආ හැටි!

0

අගමැති හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීලනිප ඇතැමුන් ගෙනා විශ්වාසභංගය ඉතා ඉහලින් ජයගත් අගමැතිවරයා මෙවර සිංහල අවුරුද්දට පිටරට යාමෙන්ද වැළකී සිටියේය.

නව වසර සදහා අගමැතිවරයා බිරිද මෛත්‍රී තෝරා ගත්තේ නුවරඑළිය ප්‍රදේශයේය. එහි අගමැති නිල නිවසට ගිය පිරිස සිංහල අවුරුදු චාරිත්‍ර ඉටු කලේද එහිදීය. විවේකයට මූලිකත්වය දුන්නද ප්‍රදේශයේ දියුණුවට අදාල සැලසුම් අධ්‍යනයටද අගමැතිවරයා ක්‍රියා කලේය.සංචාරක කර්මාන්තය සදහා යෝජිත නව පුරවරය ඉදිකිරීම පරීක්ෂා කිරීමට ඔහු ගියේ මන්ත්‍රී කේ.කේ.පියදාස සමගිනි.

අනතුරුව ග්‍රෑන්ඩ් හෝටලයේ සූපවේදීන් ගිනස් වාර්තාවක් සදහා නුවරඑළිය අර්තාපල් වලින් නිර්මාණය කල කේක් ගෙඩිය කැපීමටද අගමැතිවරයා එක්විය. පෞරාණික කඩුවකින් කේක් ගෙඩිය කැපීම සිදුවිය.අනතුරුව මහනුවරට ගිය පැමිණි අගමැතිවරයා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සමග මල්වතු අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක දළදා මාළිගාවද වැදපුදා ගෙන කොළඹ බලා පිටත් විය.

අගමැතිවරයාගේ අලුත් අවුරුදු කිරිබත් සංග්‍රහය බ්‍රහස්පතින්දා පෙරවරුවේ අරලිය ගහ මැදුරේදී පැවති අතර ඊට මැතිඇමතිවරු සංස්ථා සභාපතිවරු, ඉහල නිලධාරීන් හා ප්‍රමුඛ මාධ්‍යවේදීන් රැසක් එක් විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, අලවතුවල මෙන්ම චමින්ද විජේසිරි, මරික්කාර්,තුෂාර ඉදුනිල්,බන්දුලාල්,බණ්ඩාරගොඩ, සිඩ්නි ජයරත්න ප්‍රමුඛ පසුපෙල මන්ත්‍රීවරු සමඟද අගමැතිවරයා එජාප ප්‍රතිසංස්කරණ මෙන්ම ඇමති සංශෝධනයට අදාළව සාකච්ඡා කළේය.

“පසුපෙළ ශක්තිමත් කරන්න. ජ්‍යෙෂ්ඨ අයට තනතුරු දෙන්න. එජාප ප්‍රතිසංස්කරණ වලට අදාලව ඔබතුමාට දුන් කමිටු තුනේ වාර්තාව අනුව කටයුතු කරන්න. කල් දාන්න එපා. ජනපතිවරණයට තව වසර 1 1/2 යි තියෙන්නෙ. ජනතාවට සලකන්නත් තරුණ පරපුරට රැකියා දීමටත් වේගවත් සංවර්ධනයටත් මුලපුරමු. ආණ්ඩුවට දැවැන්ත ජනමාධ්‍ය මෙහෙයුමක් අත්‍යවශ්‍යයි. අපි එකතුවෙලා වැඩ කරමු” චමින්ද විජේසිරි ඇතුලු පසුපෙල සියලුදෙනා කීවේ එකම අදහසකි.

“ඔයාලා එකමතයක ඉන්න එක වටිනවා. කමිටු තුනේ නිර්දේශ අනුවයි එජාප ප්‍රතිසංස්කරණ සිදුවන්නේ. ඇමතිකම් වලට පත් කරන කොට ජනාධිපතිතුමා එක්කත් කතා කරලා වඩාත් හොද දේ කරනවා” අගමැතිවරයා කීය.

“විශ්වාසභංගයෙන් ඔබතුමා අමාරුවේ දාන්නයි ශ්‍රීලනිපයේ සමහරු බැලුවේ. අන්තිමට අමාරුවේ වැටුණේ ඒ අයමයි” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ පොහොට්ටුවේ න්‍යායචාර්ය කෙනෙත් තමයි ආචාර්ය චරිත හේරත්.එයා ලගදි රූපවාහිනී සංවාදයකදී ඉතා පළල් විග්‍රහයක් කලා. අගමැතිතුමා බැදුම්කරේට සම්බන්ධ වුණාට පස්සේ ශ්‍රීලපනිප 16 දෙනා ඇමතිකම් අරන් අගමැති එක්ක වසර 02ක් කලා. අගමැතිගෙ ප්‍රශ්න එයාලට ඒ කාලේ මතක් වුණේ නැද්ද කියල චරිත ඇහුවා. පලාත් පාලන ඡන්ද ප්‍රතිඵලය නිසා එයාල 16 දෙනා තම අනාගතය ගැන බයවෙලා ඉතා ආත්මාර්ථකාමීව විශ්වාසභංගයට පක්ෂ වෙලා දැන් පොහොට්ටුවට පනින්න හදනවා.මේ 16 දෙනාගෙන් ප්‍රවේශම් විය යුතු බව ඇඟවෙන ප්‍රකාශයක් තමයි චරිත හේරත් කළේ. “චමින්ද විජේසිරි කීය. ඒ ගැන සියලු දෙනාගේ අවධානය යොමුවිය.

“එජාප කෘත්‍යාධිකාරිය හා මන්ත්‍රී කණ්ඩායම ජාතික රජය ඉදිරියට ගෙනියන්න එකඟත්වය දෙනවා. ඒත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙදී ඒ යෝජනාව සම්මත කරගන්න දැන් ඡන්ද කීපයක් මදි කියල ආරංචියි. ජනාධිපතිතුමා ලොකු හිරවීමකලු ඉන්නෙ. තීරණාත්මක ඡන්දයක් නම් ඒකට මහින්දත් එන්නලු හදන්නෙ. ඒත් චන්ද්‍රිකාත් ඉන්න නිසා මහින්ද ඒවිද දන්නෙ නෑ” පී හැරිසන් කීවේ කාගේත් සිනාමැදය.

“ශ්‍රීලනිපය දැන් තුනට කැඩිලා. පලාත් පාලන ඡන්දත් ශ්‍රීලනිපයේ වුවමනාවට කල් දාන්න උදව් කරලා එජාපයත් ඉල්ලං කෑවා” දයා ගමගේ කීය.

“කැබිනට් සංශෝධනය කවදද වෙන්නෙ දන්නෙ දෙයියො තමයි. එජාප ඇමති සංශෝධනයක් කල නිසා යලිත් එජාපයට එහෙම දෙයක් ඕන නෑ. විෂයයන් මාරුවත් ඕන වෙන්නෙ නෑ කියන එකයි එජාපෙ පොදු මතය වෙන්නේ” කිරිඇල්ල කීදේ අගමැතිවරයා ඇතුලු සියලුදෙනාම අනුමත කළහ.

“එජාපය තනතුරු වල වෙනසක් සිදුකළ යුතුයි. දක්ෂ අලුත් අයට තැන දෙන්න ඕනෑ. නව මහා ලේකම් කවුරු වුණත් බලතල අඩුවේවි. සභාපතිකමටත් අලුත් මුහුණක් දාන්න ඕනෑ” අගමැතිවරයා සිය එජාප එජාප ප්‍රතිසංස්කරණ වලට අදාළව දැවැන්ත ඉඟියක් පළ කළේය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here