ඇමතිකම් බෙදිල්ල ගැන ජනපති කිව්ව කතාව මෙන්න!

විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කළ ආකාරය සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මෙම අමාත්‍යාංශ අලුතෙන් සැලසුම් කරීමේදී අගමැතිවරයා සහ තමන් සාකච්ඡා කර  බොහෝ නිවැරදි කිරිම් සිදු කළ බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්  දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

“නව අමාත්‍ය මණ්ඩලයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත්වූ සියලුදෙනාට මම සුබපතනවා. ආශිර්වාද කරනවා ඔබෙත්, මගෙත් ආදරණීය මාතෘ භූමිය සහ ජනතාව වෙනුවෙන් සිය වගකීම් සහ යුතුකම් ඉටුකිරීමට ඔබට සියලු ආකාරයෙන් ධෛර්ය, ශක්තිය සහ වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මමත්, අගමැතිතුමත් ඔබ සියලුදෙනාට අවශ්‍ය එම සහයෝගය සහ අනුග‍්‍රහය සෑම අතින්ම ලබාදෙන බව ප‍්‍රකාශ කරනවා.

අමාත්‍ය මණ්ඩල පත් කිරීම් ඒ වගේම රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම් පිළිබඳව පසුගිය දශක කිහිපයේම ඉතිහාසය ගතහොත් මම හිතන්නේ කිසිම රාජ්‍ය නායකයෙකුට ඒ පිළිබඳව සියයට සියයක් ඒ පත්වු සියලුදෙනාගේම ප‍්‍රසාදය ලබා ගන්න පුළුවන් වෙලා නැහැ.

මම විශ්වාස කරනවා තමන්ට ලැබී තිබෙන අමාත්‍යාංශයේ වගකීම් සහ යුතුකම් ඉතාමත් හොඳින් ඔබ සෑම කෙනෙක්ම ඉෂ්ට කරයි කියලා. අදාළ ගැසට් නිවේදනයේ විෂය ක්ෂේත‍්‍රය තුළ තිබෙන කටයුතු වගේම ඕනෑම රාජ්‍ය අමත්‍යවරයෙකුට, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට තමාගේ විෂය ක්ෂේත‍්‍රයට අදාළ බොහෝ සේවාවන් නිර්මාණය කරන්න පුළුවන්. තමන්ගේ හැකියාව, දක්ෂතාවය, දැනුම ඒ සියල්ල එක්ක එම කටයුතු කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. ඒ නිසා ක්ෂේත‍්‍රයේ සීමාව නොවේ හිතන්න ඕන, ඒ තුළ කරන කටයුතු වගේම ඊට එහා අපි යම් කාර්යයක් ඉටු කරන්නේ කෙසේද කියලා බලන්න ඕන.

දැන් මේ වසරේ මාස 04 ක් ගෙවි ගොස්. ඒ නිසා අතපසු වූ වැඩකොටස් වගේම දැනට කරන්න තිබෙන කාර්යයන් වාර්ෂික සංවර්ධන සැලසුම් ඉලක්ක සහගතව, කාර්යක්ෂම ඉටුකරන්න අපි ඔබ සියලුදෙනාට හැකියාව, වුවමනාව සහ අවබෝධය තිබෙනවා. ඒ නිසා රජය විදියට රට වෙනුවෙන් සහ මහජනයා වෙනුවෙන් අද තිබෙන ආර්ථික තත්ත්වයන් සහ දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ කාර්යයන් සඳහා කඩිනම්ව හා කාර්යක්ෂමව අපි එක්වීමයි අවශ්‍ය වෙන්නේ.

ඊයේ පත්වූ අමාත්‍ය මණ්ඩලයත් අද පත්වූ රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙස රට වශයෙන් බලාගෙන ඉන්නවා අපි දැන් මී ළඟට කුමන ආකාරයේ වැඩකොටසක් ද ඉටුකරන්නේ කියලා.

දැන් විශේෂයෙන් ආණ්ඩුවට එරෙහි විවේචනවලදි බොහෝ දකින්න තිබෙන්නේ විද්‍යාත්මක පදනමකින් අමාත්‍යාංශ වෙන් කරනවා කිව්වට එහෙම වෙලා නැහැයි කියන එක. මම එම චෝදනාව ප‍්‍රතික්ෂේප කරනවා. මෙම අමාත්‍යාංශ අලුතෙන් සැලසුම් කරද්දි අගමැතිතුමත්, මමත් සාකච්ඡා කරලා බොහෝ නිවැරදි කිරිම් සිදු කළා. ඒ වගේම අමාත්‍යංශවල ආයතන, විෂය ගැසට් කිරීමේදී මම පැහැදිළිව සඳහන් කරන්න ඕන මේ විද්‍යාත්මක පදනම පැහැදිළිව ලෙසම සැලකිල්ලට ගන්නවා කියන එක. ඒ පිළිබඳව කවුරුවත් අමනාප වෙන්න එපා. මොකද රටේ සෑම කෙනෙක්ම බලාගෙන ඉන්නවා අපි කියපු දේ හරියටම කෙරෙයිද කියන කාරණාව දෙස. ඒ නිසා බොහෝ විවේචනාත්මකව තිබූණු අමාත්‍යාංශ දැන් හුඟක් වෙනස් වුණා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here