ආණ්ඩු මාරුව අස්සේ අරලියගහ මන්දිරයේදී දොස්තර ප්‍රෙෂර් බැලූ හැටි

0

 

රනිල් වික්‍රමසිංහ තවමත් අගමැතිවරයා ලෙස පවසමින් එජාපෙ පාක්ෂිකයන් මේ දිනවල අරලියගහ මන්දිරයේ අඛණ්ඩව රැඳී සිටී. ඔවුන් රැය පහන් කරන්නේද අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේය. මේ වන විට එම පරිශ්‍රය කැළි කසළවලින් පිරී ගොස්ය. තැන තැන ඉඳුල් දමා ඇති නිසා දැඩි දුර්ගන්ධයක්ද තිබේ.

නීත්‍යනුකූලව එම මන්දිරයේ භාරකරයා වන්නේ අගමැති ලේකම්වරයාය. ඔහු එම පරිශ්‍රය ගැන සොයා බැලීම සඳහා අගමැති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පිටත් කර හැරියේය. සිදු වූයේ අරුම පුදුම දෙයකි. ඔත්තු බැලීමට මහින්ද එවා ඇතැයි පවසමින් අරලියගහ මන්දිරයේ සිටි පිරිස් හොඳටම එම නිලධාරීන් දෙදෙනාට පහරදී තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු පැවැසුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විරුද්ධව යාග හෝම පවත්වන බවය. තත්ත්වය එසේ තිබියදී බදාදා දිනයේ එජාපයට හිතවත් වෛද්‍යවරයකු පැමිණ එහි රැඳී සිටින මැති ඇමැතිවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කෙළේය. ඔහු පළමුව කළේ වික්‍රමසිංහ මහතාගේ සහ මන්ත්‍රි පිරිසගේ ප්‍රෙෂර් චෙක් කිරීමය. පළමුව එම පරීක්ෂණයට භාජන වූයේ හිටපු අගමැති ලේකම් සමන් ඒකනායකය. ඔහුගේ ප්‍රෙෂර් මට්ටම 110-160 ත් අතර ප්‍රමාණයේ පසුවිය. සිඩ්නි ජයරත්න මන්ත්‍රිවරයාගේ ප්‍රෙෂර් මට්ටම 120-170 ප්‍රමාණයක තිබීම නිසා වෛද්‍යවරයාද කලබලයට පත්විය.

අශෝක් අබේසිංහගේ ප්‍රෙෂර් මට්ටම 170-120 අතර ප්‍රමාණයේ විය. රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රෙෂර් මට්ටම බලාගත්තේය. එය 80-120 ලෙස සටහන් විය.

‘අනෙක් ඔක්කොටම වඩා ඔබතුමාගේ නෝමල්නෙ’ වෛද්‍යවරයා විමසීය.

‘ඔව්… මම ඕව ඔච්චර ගනන් ගන්නේ නෑ.’ රනිල් සිනාසෙමින් කීවේය. මේ සටහන තබන විටත් වික්‍රමසිංහ මහතා තවමත් අරලියගහ මන්දිරයේ රැඳී සිටී.

ඔහු ඉන් පිට නොවීමට දේශපාලන කරුණු කිහිපයක් බලපා තිබේ. ඔහු නීතිය නොදන්නා කෙනකු නොවේ. මෙයින් ඉවත් වී ගිය පසු ඔහු වටා තිබෙන පක්ෂයේ බලය ගිලිහී යන බවට දැනටමත් සලකුණු පහළවෙමින් තිබේ. රනිල් 5 වැනි පටුමඟේ පිහිටි සිය පෞද්ගලික නිල නිවෙසට ගිය පසු අද අරලියගහ මන්දිරයට එන පිරිස එහි එන්නේ නැත.

තත්ත්වය එසේ තිබියදී දැන් නැවතත් එජාප නායකත්වය වෙනස් විය යුතු බවද පාක්ෂිකයන්ගෙන් බොහෝ දෙනකු කෑ මොර දෙමින් තිබේ. සජිත් ප්‍රේමදාස නැවතත් කරළියට පැමිණ ඇත. එම නිසා වික්‍රමසිංහ මහතාට පක්ෂය තුළද යළි කැරැල්ලක් නිර්මාණය කිරීමට ඉඩ තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පැවැත්වූ බවද දැන් කරුණු වාර්තා වී තිබේ. එම නිසා එජාපයට ඍජුවම සම්බන්ධ නාළිකාවකින් මේ දිනවල සජිත් ප්‍රේමදාස මහතාට දැඩි ප්‍රහාර එල්ල කරමින් ඇත. මෙම තත්ත්වය හමුවේ සජිත්ගේ භූමිකාව ගැනද එජාප පාක්ෂිකයෝ දැඩි විමසිල්ලෙන් යුතුව බලා සිටී.

මව්බිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here