ආණ්ඩුව හැර ගිය ඇමතිවරුන්ට මහින්ද කීවේ මොනවාද?

0

මහින්ද පසුගිය සතියේ මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගියේ සනත් නිශාන්තගේ සුවදුක් විමසීමටය. මහින්ද සමඟ ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා ද සනත්ගේ සුවදුක් බැලීමට ගියහ. එහිදී ඔවුන් කතාබහ කළේ විශ්වාසභංග යෝජනාවෙන් පසුව උදා වී ඇති වාතාවරණය ගැනය.

“ආණ්ඩුව විශ්වාසභංගය දිනුම් කියලා හිතන් හිටියට ඇත්තටම වෙලා තියෙන්නේ ඒකේ අනික් පැත්ත” ප්‍රසන්න කතාබහ අරඹමින් පැවසීය.

“මේ විශ්වාසභංග යෝජනාවෙන් පැරදුණේ අපි කියලා පෙන්නන්න හැදුවට ඇත්තටම පැරදිලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. අපි පාර්ලිමේන්තුවේ ඡන්දෙන් පැරදුණේ එක පාරයි. හැබැයි මේ පක්ෂ දෙක හත්අට වතාව බැගින් පැරදිලා තියෙන්නේ” ලන්සා කීවේය.

“ඒ කතාව නම් ඇත්ත තමයි. පක්ෂ දෙක එකතු වෙලා හදපු ආණ්ඩුව දැන් ගමනේ කෙළවරට ඇවිත් ඉවරයි. මේ ආණ්ඩුව හදනකොටම මම කිව්වා එළ හරකයි මී හරකයි එකට බඳින්න බැහැ කියලා. එදා අපි පෙන්වා දීපු දේවල් අද ඇත්ත වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අනුගමනය කරන ප්‍රතිපත්ති අහසයි පොළවයි වගේ හාත්පසින්ම ‍එකිනෙකට වෙනස්. ඉතින් කොහොම එකට ආණ්ඩුවක් කරගෙන යන්නේ? මහින්ද පැහැදිලි කළේය.

“සර් කියපු එක නම් හරියටම හරි. අන්තිමේදී වුණේ බණ්ඩාරනායක මහත්තයා හදපු නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ රට විකුණන ප්‍රතිපත්තිවලට යටකරලා දාලා රටම විනාශ කරපු එක විතරයි. නිදහස් පක්ෂයේ මූලස්ථානය ඩාර්ලි ‍පාරේ තිබු‍ණට ඇත්තටම දැන් ඒක සිරිකොතේ ශාඛාවක් වෙලා ඉවරයි” ප්‍රසන්න කීවේය.

“විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කරපු නිදහස් පක්ෂ ඇමැතිවරුන් කණ්ඩායම දැන් මොකක්ද දන්නේ නැහැ කරන්න යන්නේ? ඉන්දික ඇසුවේය.

“අගමැතිට විරුද්ධව ඡන්දය දුන්නා නම් ඇමැතිකම්වලින් අයින් වෙලා විපක්ෂයට එනවා මිසක් වෙන මොනවා කරන්නද? ඒ අයට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැහැ” ප්‍රසන්න පැවසීය.

“ඒ අය මට කතා කරලා ඇහුවා මොකද දැන් කරන්නේ කියලා. මමත් කිව්වේ දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. ආණ්ඩුවටත් අගමැතිටත් විරුද්ධ නම් ඉන්න තියෙන එකම තැන අපි ඉන්න තැන විතරයි” මහින්ද හෙළිකළේය.

“මහින්ද අමරවීරයි දුමින්ද දිසානායකයි දැන් කියනවා විශ්වාසභංගයට ඡන්දෙ නොදුන්නේ පරදින බව දන්න නිසයි කියලා. පරදින්න හරි දිනන්න හරි සටන් කරන එකයි වැදගත්. එහෙම නැතුව රනිල්ට බයේ ඇඳන් යට රිංගන් හිටියට වැඩක් වෙන්නේ නැහැ” ප්‍රසන්න පැවසීය.

“විශ්වාසභංගය දා පාර්ලිමේන්තු ආවේ නැතුව හැංගුණ නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් බැලුවේ අගමැතිව තරහා කරගන්නේ නැතුව ඇමැතිකම් ටික පරිස්සම් කරගන්නයි. ඒ අයට රනිල් නෙමේ මොකා හිටියත් කමක් නැහැ ඇමැතිකම තියෙනවා නම්” ලන්සා කීවේය.

“ඒක තමයි එයාලා කරගත්ත ලොකුම මෝඩකම. දැන් නිදහස් පක්ෂයේ ඉතුරු වෙලා ඉන්න පාක්ෂිකයොත් කල්පනා කරනවා ඇති මේ මොක්කුන්ටද අපි ඡන්දේ දීලා තියෙන්නේ කියලා. තමන්ගේ කැමැත්ත අකැමැත්ත කෙළින් කියා ගන්න බැරි මේ වගේ ඇමැතියෝ මොකටද කියලා එයාලා හිතනවා ඇති. එයාලට ආයෙත් පාර්ලිමේන්තු නම් එන්න වෙන්නේ නැහැ. එයාලගේ දේශපාලන ගමන මෙතැනින් ඉවරයි” ප්‍රසන්න පැවසීය.

“අපේ ගම්වල මිනිස්සු බලාගෙන ඉන්නේ ආණ්ඩුවේ ඇමැතියෝ ටික ගමට එනකම් තමයි. බදු ගහලා ගහලා අලුත් අවුරුද්දට කිරිබතක්වත් උයා ගන්න විදියක් නැහැ කියලා මිනිස්සු බනිනවා” රණවීර කීවේය.

“මේ පාර අවුරුද්දට තියෙන්නේ එරබදු නෙමේ මංගලගේ හොරබදු. අවුරුද්දට අඬන්නේ කොහා නෙමේ මංගල කියන හොර කොට්ටෝරුවා” ප්‍රසන්න කීවේ සැවොම සිනාගන්වමිනි.

සනත් නිශාන්තගේ සුවදුක් විමසීමෙන් පසුව මහින්ද තංගල්ල බලා පිටත්ව ගියේය. ජනාධිපති ධූරය දරන සමයේ පටන්ම මහින්ද සිරිතක් වශයෙන් සිංහල අලුත් අවුරුදු සමය ගතකරන්නේ තංගල්ල කාල්ටන් නිවසේය. සිය ඥාති හිතමිත්‍රාදීන් සමඟ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට මහින්ද රාජපක්ෂ මහතා කැමතිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here