අලුත් නායකයගේ නම හෙළිදරව් වෙනවට එයා කැමති නෑ!අගමැති එජාප මන්ත්‍රීවරුන්ට කී රහස

එජාප මැති ඇමතිවරුන් පිරිසක් අගමැතිවරයා හමුවී ආගිය තොරතුරු කතාබහ කලේය.

“එජාප ප්‍රතිසංස්කරණ හා ඇමති මාරුව ගැන එජාප දෙතුන්දෙනෙක් ජනමාධ්‍ය වලට විවිධ ප්‍රකාශ දීල තිබුණා. ඇතැම් ජනමාධ්‍ය ඒවා විකෘති කරලා පළ කරන බව පේනවා” දයා ගමගේ කතාවට මුල පිරුවේය.

“පසුපෙළ මැති ඇමතිවරු කියන ඇතැම් දේවල් ජනමාධ්‍ය විකෘති කරල අවශ්‍ය කෑල්ල විතරක් පෙන්නලා ප්‍රශ්න ඇතිකරන බව ප්‍රකාශ දීපු අයම අපට පැහැදිලි කරල තියෙනවා” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“විකෘති කරන ප්‍රකාශ වලට පිළිතුරු දීමේ ක්‍රමවේදයක් එජාපය කඩිනමින් සූදානම් කරනවා. ඒවා ටී.වී. රේඩියෝ, පත්තර විතරක් නෙවෙයි සමාජ ජාලා හා ෆේස්බුක් අතරත් පැතිරවීමට තීන්දු කළා” මහලේකම් අකිල විරාජ් කාරියවසම් කීය.

“ඇමති මාරුව ගැනත් එජාප සුළු පිරිසකගේ යම් විරෝධාකල්ප තියෙනවා. ඒවාත් මේ දිනවල ජනමාධ්‍ය වල යනවා. ඔවුන්ගේ අදහස් ගැනත් පක්ෂය අවධානය දැක්වීම අවශ්‍යයි” නවීන් දිසානායක කී දේ සියලු දෙනා අනුමත කළහ.

“එජාපය ඉල්ලුවත් අපේ පැත්තට අලුත් තනතුරු ලැබුණෙ නැහැ. ඒත් අගමැතිතුමා හෝ නොදැන අපේ අලි සයිඩ්ට නියෝජ්‍ය එකක් දීලා. ශ්‍රීලනිපයේ 03 දෙනෙකුත් ඒ නිසා අවුල් වෙලාලු” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“අපේ එජාප පසුපෙළත් මේ තත්ත්වය නිසා වැරදි අවබෝධයකට ගිහින් ඇති. මම ඔවුන්ට මේ තත්ත්වය පැහැදිලි කළා. එජාපයට ඉක්මනින් සාධාරණය ඉටුවිය යුතු බව අපේ ස්ථාවරයයි” අගමැතිවරයා පැහැදිලි කළේය.

“රංගෙ බණ්ඩාරට කැබිනට් එකක් පොරොන්දු වුණත් දුන්නෙ නැහැ කියල එතුමා චෝදනා කළා” චමින්ද විජේසිරි කීය.

“එතුමාට කවුරුවත් එහෙම පොරොන්දුවක් දීල හෝ කවුරුවත් එතුමා වෙනුවෙන් එහෙම ඉල්ලීමක් කරලවත් නැහැ. ඇත්ත ඒකයි” එහි සිටි නීති අංශ නිලධාරියෙක් කීවේ චමින්ද විජේසිරිගේ පැනයට පිළිතුරක් ලෙසය.

“අකිල නව මහා ලේකම් තුමාට අධ්‍යාපන ඇමතිකම විතරයි ඉතිරි කළේ. සංස්කෘතික ගලවල විජේදාස ඇමතිතුමාට දුන්නා. ඒක එක අතකට මහ ලේකම්කමේ වැඩ කරන්න පහසුවක්” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුලු සියලු දෙනා එකහෙලා අනුමත කළහ.

“අධ්‍යාපන ජාතික ප්‍රතිපත්ති හැදීම අපේ අධීක්ෂණය තුළ නිලධාරින් කරනවා. මට ප්‍රධාන නගර වල ජාතික පාසල් 350 ක් විතරයි බලන්න තියෙන්නේ. මහා ලේකම්කම “පුල්ටයිම්” කරල එජාපය කරකවල උඩට ගන්නවා” අකිල විරාජ් කී විට සියලු දෙනා ඔහුට සුභ පැතීය.

“මට බුද්ධ ශාසන තිබුණු කාලෙ ලොකු සේවයක් කරන්න ලැබුණා. දැන් සංස්කෘතික දීපු නිසා ඊටත් ලොකු දෙයක් මට කළ හැකියි. මහින්ද රාජපක්ෂලා මේ රටට පටවපු සයිටම් අර්බුදයත් ඉක්මනින් විසඳන්න ඕනෑ” විජේදාස රාජපක්ෂ කී දේට අගමැතිවරයාද එකඟත්වය පළ කලේය.

“ඇමති මාරුව විද්‍යාත්මකද කියල විපක්ෂය හා සමහර ජනමාධ්‍ය ප්‍රශ්න කරනවා. සමහරු ඒ ගැන උසුළු විසුළුත් කරනවා” සජිත් ප්‍රේමදාස කීය.

“මහින්දගෙ කාලෙට වඩා නම් දැන් මේ ඇමති මාරුව ඉතා විද්‍යානුකූලයි.විෂයන් බෙදුවාම විද්‍යානුකූල බව තවත් තහවුරු වේවි. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

“ එජාප විකල්ප නායකයා කවුද කියල කියන්නැයි එජාප පසුපෙල ඉල්ලනවා නේද ” දයා ගමගේ කීවේ සිනාමැදය.

“ නායකත්වයට ඉදිරිපත් වෙන්නත් කෙනෙක් ආවේ නෑ. විකල්ප නායකයො එලිවෙනවාටත් ඒ සමහරු කැමති නෑ.එහෙම නම් එජාප පසුපෙල විකල්ප නායකයන්ගේ නම් අහන්නෙ ඇයි කියල මට තේරෙන්නේ නෑ. ” අගමැති කීවේ සිනාමැදය.

“ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීල අනාථ වූ ශ්‍රීලනිප 16 දෙනා මල්වතු අස්ගිරි හාමුදුරුවරු හමුවෙලා මීඩියා සංදර්ශන දාන්න ගිහින් තවත් අනාථ වුනා. ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ සිනාමැදය.

“ පොහොට්ටුවේ ඇතුලෙ කල්ලි 03,04 ක් මරා ගන්නවා. ගෝඨා-බැසිල්-මහින්ද-නාමල් කල්ලියි විකල්ප කල්ලියි එකාට එකා නෑ.2019 ජනාධිපති අපේක්ෂකකම් බෙදා ගන්න මුහුදට හත් ගව්වක් තියල  අමුඩ ගහන්න ගිහිල්ලයි කට්ටිය නාන්නේ ” නවීන් දිසානායක කී දේ අගමැති ඇතුලු සියලු දෙනා අනුමත කලේ උස් හඩින් සිනාසෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here