අර්ජුන මහේන්ද්‍රන්ට ආයෙත් වරෙන්තු! ජාත්‍යන්තර පොලිසියේ සහාය

0

හිටපු  මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට  නැවතත් වරෙන්තුවක්  නිකුත් කරන ලෙස නියෝග කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසිය වෙත යැවිම සඳහා ඉංග්‍රිසි භාෂාවෙන් නිකුත් කරන ලෙසටද අද (29 ) නියෝග  කළාය.

ඉකුත් දින නිකුත් කළ වරෙන්තුවේ වලංගු කාලය ඉක්ම යාම හේතුවෙන් නැවතත් වරෙන්තුවක් නිකුත් කරන ලෙස  නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත් වරිය මේ නියෝගය සිදු කළය.

එසේම හිටපු මහ බැංකු අධිපතිවරයා අත්අඩංගුවට ගැනිම සඳහා රතු නිවේදනයක් ලබා ගැනිමට ජාත්‍යන්තර පොලිසියට අයදුම්පතක්ද යොමු කර ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂකවරයකු වන  අර්ජුන් ඇලෝසියස් මහතා සහ ඒම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ලබන අප්‍රේල් මස 12  වනද දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද  මහේස්ත්‍රාත් වරිය නියෝග කළාය.

එමෙන්ම මේ සිද්ධියට අදාළව  තුන්වන සැකකරු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වීමට දැනට සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරතව සිටින එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතාට අධීකරණයේ පෙනි සිටිමට සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා පලිසේන මහතාට පෙනි සිටිමට ඉඩ ලබා දීම සුදුසු නොවන බවත් මේ වන විටත් මේ සිද්ධියේ පළමු සැකකරු වන හිටපු මහ බැංකු අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සහ දෙවන සැකකරු වන අර්ජුන් ඇලොසියස් වන සැකකරුවන් දෙදෙනාට සාපරාධී විශ්වාසය කඩ කිරිමට ආධාර අනුබල දීම යටතේ පලිසේන මහතාට චෝදනා එල්ල වී තිබීම හේතුවෙන් ඉඩ ලබා දිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නා.

එමෙන්ම ඉකුත් දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටි අර්ජුන් ඇලොසියස් සහ කසුන් පලිසේන යන මහත්වරුන්ගේ මෙන්ම කලත්‍රයන් සහ යැපෙන්නන් සම්බන්ධ ගිණූම් වාර්තා ඇතුළත් විස්තර ප්‍රකාශණයක් කාලානුරූපිව සකස් කර අධිකරණයට ඉන් වාර්තා දෙකක් ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ සඳහා බන්ධනාගාරයේ සිටියදීම ගණකාධිකාරිවරුන්,තිඥවරුන් ඇතුලු යම් පාර්ශවයන්ගේ සහායක් අවශ්‍ය නම් එය ලබා දෙන ලෙසටත්  බන්ධනාගාර අධීකාරිවරයාට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ විමර්ශන වල සහාය සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වාර්ෂික ව්‍යවස්ථාපිත ප්‍රකාශනවල පිටපත් සහ සමාගම් ව්‍යවස්ථාපිත කිරිමට අදාළ විස්තර ඇතුළත් ලේඛණ අධීකරණයට ඉදිරිපත් කරන ලෙස එම සමාගමේ ලේකම්වරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම සමාගමේ විගණන වාර්තා සකස් කිරිමට අදාළ ලේඛණ ඉදිරිපත් කරන ලෙසටත් එම සමාගමේ  විගණකවරුන්ට නියෝගයක් නිකුත් කළාය.

මේ ලේඛණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන වලට  අනුකූලව අධීකරණයට ඉදිරිපත් කළ යුතු බවට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඉහත රක්ෂීතබන්ධනාගාර ගත කළ සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනිමට අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර ලබා දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර මේ වන තෙක් අර්ජදුන් මහේන්ද්‍රන් මහතාට අදාළ වරෙන්තුව භාර දීමට නොහැකි වී ඇති බව අධීකරණයට දන්වා සිටියේය.

ඉකුත් දින දුරකතන් විස්තර වාර්තා ලබා දීමට අධීකරණය ලබා දුන් නියෝගය එම සමාගම් වෙත භාර දී ඇති බව  අධිකරණයට දැනුම් දුන්  අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකාර සමාගම අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී ගන්නා ලද තීරණ සහ ලේඛණ , සැකකාර සමාගමේ විගණන සිදු කර ඇති ක්‍රෙස්ටන් එම් එස් එන් සමාගමේ ලේඛණ සහ දේශීය අදායම් දෙපාර්තමේන්තුවට සමාගම යොමු කර ඇති ලේඛණත් විමර්ශන සඳහා ලබා දෙන  ලෙසත්   අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිද්ධියටඅ දාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය මාර්තු මස 20 වනදා සිට සේවක වැටුප් සහ බිලපත් නොගෙවා ඇති බවටත් සමාගම සම්පූර්ණයෙන් වසා දමා ඇති බවටත් ජනාධිපති නිතිඥ කාලිග ඉන්දතිස්ස මහතා ප්‍රමුඛ නිතිඥ මඩුල්ල අධිකරණයට කරුණූ දක්වමින් කියා සිටි අතර විගණකවරුන් සමාගමේ තොරතුරු ලබා දීමට බැදි නැති බවත් මේ වන විටත් සමාගම සම්බන්ධ තොරතුරු අදාළ විමර්ශන සඳහා ලබා දී ඇති බවත් කියා සිටියේය.

එම සමාගම ඈවර කිරිම සඳහා හෝ ව්‍යාපාරික කටයුතුඅවසන් කිරිම සඳහා වසා දමා ඇද්දැයි මහේස්ත්‍රාත්වරිය විත්තියේ නිතිඥ මඩුල්ලෙන් විමසා සිටි අතර ඒ කරුණූ දෙකටම වසා දමා නැති බවටත් වැටපු නො‍ගෙවීම සහා බලිපත් නොගෙවීම මත කිසිම සේවකයකු සමාගම වෙත පැමිනෙන්නේ නැති බව ජනාධිපති නිතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මේ සිද්ධියට අදාළව එම සමාගමේ වාර්තා ලබා ගැනිමට දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ඉල්ලිම ඉදිරි දින සිදු කරන බව අපරාධ පරීක්ෂන දොපර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටයේය.

සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වල ප්‍රගතිය ලබන අප්‍රේල් මස 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here