අපේ ඇතැම් ප්‍රදේශීය ලේකම් කාර්යාල කුකුල් කූඩු වගේ

0

ඇමති වජිර අබේවර්ධන ඉංගිරියේදී කියු කතාව

මේ රටේ ප්‍රාදේශීය පරිපාලනයේ ලොකු තදබදයක් තියෙනවා. ඇතැම් කාර්යාල කුකුල් කූඩු වගේ. අපි මේ සියල්ල හෙට ලෝකයට ගැලපෙන විදියට නවීකරණය කරනවා. දැනට තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන 332යි. ඒ සංඛ්‍යාව 365ක් බවට පත්කරලා සියලු කාර්යාල නවීකරණය කරනවා” යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.”

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගිය  දා කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 920ක මුදලක් වෙන්කර ඇත.

අමාත්‍යවරයා එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

” අපේ රජය බලයට පත්වූ දින පටන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගරා වැටෙන මට්ටමට පත්වෙලා තිබුණා. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවත්වාගෙන යන්නේ ගෙදරක. අපි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රජයේ කාර්යාල එකතැනකට ගෙන එන්න පුළුවන් දිස්ත්‍රික් පරිපාලන සංකීර්ණයක් හදන්න රුපියල් බිලියන හතරක් වියදම් කර තිබෙනවා. පොළොන්නරුව, යාපනය, මුලතිව් දිස්ත්‍රික් පරිපාල සංකීර්ණ ඉදිකරමින් තිබෙනවා. අපේ අපේක්ෂාව වෙන්නේ 2020 වනවිට මේ රටේ සියලුම ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණය කරලා ජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කරන්න. මේ කාර්යාලවල ඉඩ ප්‍රමාණවත් වුණේ නැහැ. කුකුල් කූඩු වගේ කාර්යාල තිබෙන විට ගුණාත්මක සේවයක් ලබා දීම අපහසුයි.  ඒ නිසා අපිට භෞතික සම්පත් වැඩිදියුණු කරන් සිදුවුණා. මේ වනවිට රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 220ක් පමණ නවීකරණය කරගෙන යනවා. ”

මේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හැදුවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැදුවත් ජනතාවට සෘජුව ඒවා පෙනෙන්නේ නැතිව ඇති. මේ කෝටි ගණන් මුදල් රජය වැයකරන්නේ ජනතාවට ලබාදෙන සේවාව වඩාත් කාර්යක්ෂම හා විධිමත් කරන්න. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තිබෙන ගොඩනැගිල්ලේ තට්ටු 22ක්. ඒ ගොඩනැගිල්ලේ වැඩ මේ වසරේ අවසන් කරනවා. ස්වදෙශ කටයුතු අමාත්‍යාංශයත් ඒ ගොඩනැගිල්ලේ ස්ථාපිත කර සියලුම පරිපාලන කටයුතු එම ස්ථානයේ සිට සිදුකරන්න කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව අපි 2020 වන විට ශ්‍රී ලංකාවේ සියලුම ග්‍රාම නිලධාරී වසම් සඳහා ක්ෂේත්‍ර නිලධාරී කාර්යාල සාදා අවසන් කරනවා. දැනටමත් 1500ක පමණ ඉදිකිරීම් කටයුතු ආරම්භකර තිබෙනවා. ඒ කාර්යාලවල ගමක ක්ෂේත්‍ර නිලධාරීන්ට සිය රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පහසුකම් තිබෙනවා. මේ ආකාරයෙන් රාජ්‍ය සේවය වඩාත් පහසුවෙන් ගමට ගෙන යාම අපේ රජයේ ප්‍රධාන ඉලක්කයක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here